slc
logo
Home   |    News
අගෝස්තු 21, 2024
ශ්‍රී ලංකා පළමු ඉනිම 236 න් නවතියි

sinhala editor

තම මංගල ටෙස්ට් ඉනිමේදීම අර්ධ ශතකයක්ද සමගින් වාර්තා ගත ඉනිමක් ක්‍රීඩා කිරීමට මිලාන් රත්නායක සමත්වීමත්, ධනංජය ද සිල්වාගේ නායකත්වයේ ඉනිමත් හේතුවෙන් එංගලන්තයට එරෙහිව ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හි අද (21 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 236 ක් රැස් කර ගැනීමට අවස්ථාව උදාවිය. තරගයේ පළමු දිනට ක්‍රීඩාව නිමා කරන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 22 ක් ලබා සිටියි.

කාසියේ වාසිය දිනා ගනිමින් පමුව පන්දුවට  පහර දීමට තමා ගත් තීරණය සාධාරණීය කරමින් පන්දුවට පහර දුන් නායක ධනංජය ද සිල්වා පන්දු 84 කදී ලකුණු 74 ක් ලබා මිලාන් රත්නායක රැස් කරන ලද ලකුණු 72 සටහන් වූයේ වසර 140 කට වඩා අතීතයකට හිමිකම් කියන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී අංක 09 ස්ථානයේ ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයකු මංගල ඉනිමකදී රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසිනි.

එම කරුණු දෙක ශ්‍රී ලංකා පළමු ඉනිමේ කැපී පෙනෙන සිදුවීම් වූවා හැර ඉදිරි පෙළ පිතිකරුවන්ට ආදර්ශයක් වෙමින් අංක 10 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි විශ්ව ප්‍රනාන්දු පන්දු 62 කට මුහුණ දෙමින් ලකුණු 13 ක් රැස් කිරීම කැපී පෙනිණ. ශ්‍රී ලංකා ඉනිමේ නම් දරා සිටි අවසන් පිතිකරුවා වූ නායක ධනංජය ද සිල්වා දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 8 කට ලකුණු 176 ක් ලෙසින් සටහන් විය. එහෙත් සටන අත්නොහළ මිලාන් සහ විශ්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක සම්බන්ධතාවක් එක් කළේ පන්දු 122 ක් ක්‍රීඩා කරමිනි. එම සම්බන්ධතාව ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ශ්‍රී ලංකා ලකුණු පුවරුව රැගෙන ඒමට බෙහෙවින් දායක විය.  එම සම්බන්ධතාවය ඉනිමේ දෙවැනි වූයේ ධනංජය සහ මිලාන් අතර 8 වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 63 ක සම්බන්ධතාවයට පමණි.

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 236 න් නතර වුවත් ඉන් ලකුණු 123 ක්ම පැමිණ තිබුණේ අවසන් කඩුලු 3 අතර පැවැති ලකුණු සම්බන්ධතාවන්වලින් වීම කැපී පෙනෙයි. පන්දු යවන්නකු ලෙසින් කණ්ඩායමට එක්කාසු වී සිටියද අවශ්‍ය මොහොතේදී ක්‍රියාත්මක වුණු මිලාන් ඉතාමත් ඉවසිලිවන්ත ඉනිමක් දියත් කරමින් මුහුණ දුන් 96 වැනි පන්දුවේදී මංගල අර්ධ ශතකය සම්පූර්ණ කර ගත්තේය. හයේ පහරකින් මිලාන් තම අර්ධ ශතකය සම්පූර්ණ කර ගනිද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුවද 200 සටහන් විය.

කාසියේ වාසිය තමන් සතු කර ගනිමින් පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා තීරණය කළද මුලු ලකුණු සංඛ්‍යාව 06 ක්ව තිබියදී හිටපු නායක දිමුත් කරුනාරත්න, නිශාන් මදුෂ්ක සහ පළපුරුදු ඇන්ජලෝ මැතිව්ස් තිදෙනාම දැවී යෑම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය. දිමුත්ගේ කඩුල්ල ඇට්කින්සන් දවා ගනිද්දී නිශාන් මදුෂ්ක සහ මැත්ව්ස් දෙදෙනාම 7 වැනි පන්දුවාරය යැවූ ක්‍රිස් වෝක්ස්ට බිළිවිණ.

තරගය ආරම්භ වූ මොහොතේ සිටම එංගලන්ත  පන්දු යවන්නෝ දෝලයක්ද සමගින් නියමිත ඉලක්කයට පන්දුව යැවූ නමුත්, මැතිව්ස්ගේ කඩුල්ල සොයා ආ පන්දුව නිදැල්ලේ යෑමට හැරීමේ ප්‍රතිඵලය වූයේ එය දැවී යෑමක් ලෙස විනිසුරු සංඥා කිරීමයි. එහෙත් එය මැතිව්ස් විතීවී අවස්ථාවට යොමු කළද ප්‍රධාන විනිසුරු පෝල් රයිෆල් ලබා දුන් තීරණයට වෙනසක් කිරීමට ඉන් නොහැකි විය.

අනතුරුව එක් වුණු කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 40 ක් දක්වා ඉහළ දමද්දී හදිසියේම පැමිණි මාක් වුඩ් කුසල් මෙන්ඩිස්ව දවා ගනිමින් ශ්‍රී ලංකාව තවත් අසීරුතාවයට පත් කළේය. අනතුරුව චන්දිමාල්ගේ කඩුල්ල දවා ගත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක ෂොයෙබි බෙෂීර් තම කඩුලු දඩයම ආරම්භ කළේය.

එංගලන්තය පිලේ හිටපු සුපිරි වමත් පිතිකරු ග්‍රැහැම් තෝප්ගේ අභාවය හේතුවෙන් එංගලන්තය මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද තරගයට කළු පැටි පැළඳමින් අවතීර්ණව සිටිති. එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 100 ක් සහ එක්දින තරග 81 ක් ක්‍රීඩා කර ඇති තෝප් අගෝස්තු 04 වැනි දින මෙලොව හැර ගියේය.  

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

USD United States (US) dollar