slc
logo
Home   |    News
ඔක්තෝබර් 6, 2024
පළමු වතාවට NSL එක්දින ශූරතාව කොළඹට

sinhala editor

CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ කණ්ඩායම අද (06 දා) රාත්‍රියේදී සමත්විය. ජැෆ්නා කණ්ඩායමට එරෙහිව ලකුණු 92 ක ජයක් ලෙසින් සටහන් වුණු එම ජයග්‍රහණයත් සමඟ කම්බු කණ්ඩායම පළමු වතාවට එම කුසලානට හිමිකමී කිය.

මීට ඉහතදී පැවැති තරගාවලි දෙකේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම් ශූරතා කුසලාන ජයග්‍රහණය කර තිබුණහ. පිට පිටම තෙවැනි වතාවටත් අවසන් මහ තරග වරම උදාකර ගත් ජැෆ්නා කණ්ඩායමට එරෙහිව,  කලම්බු කණ්ඩායම ලද මෙම ජයත් සමඟ ශූරතා කුසලානයට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 30 ක මුදලක්ද ඔවුනට හිමිවිය.  පිට පිටම දෙවැනි වතාවටත් අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවූ ජනිත් ලියනගේගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා කණ්ඩායමට මුදලින් රු. ලක්ෂ 25 ක් හිමිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 414 ක අසීරු ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කණ්ඩායමට කලම්බු පන්දු යවන්නන් හමුවේ රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 47.1 කදී ලකුණු 321 ක් පමණි. ඒ අනුව මෙම අවසන් මහ තරගයේ සමස්ථ ඉනිම දෙකේදීම ලකුණු 734 ක් වාර්තාවීම කැපී පෙනිණ.

ලකුණු 92 ක පරාජයක් ලැබුවද මෙම තරගයේදී ජැෆ්නා කණ්ඩායමේ පිතිකරණය සුවිශේෂීවිය. මෙහිදී සාර්ථක වුණු ළහිරු මදුශංක පන්දු 86 කදී ලකුණු 104 ක් වාර්තා කිරීම එම ඉනිමේ කැපී පෙනෙන දක්ෂතාවය විය. ඔහු තම ඉනිම සඳහා හයේ පහර 4 ක් සහ හතරේ පහර 10 ක් එල්ල කළේය. ඔහුට අමතරව ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත පන්දු 53 කදී ලකුණු 56 ක්ද මොහොමඩ් ෂමාස් ලකුණු 49 ක්ද වාර්තා කළහ.

නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද  පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් අසලංක අද දිනයේදී සමත්වූවේය. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ  පැවැත්වෙන අවසන් මහ තරගයේදී ජැෆ්නා පිලට එරෙහිව චරිත් ලකුණු 206 ක් ලබා ගනිමින් මෙම දක්ෂතාවය දැක්වීමට සමත්වූවේය.

පන්දු 142 කට මුහුණ දුන් වමත් පිතිකරුවා ලබා ගත් ලකුණු 206 න් ලකුණු 144 ක්ම හයේ සහ හතරේ පහර වලින් රැස් කරන ලද ඒවා විය. චරිත් තම ඉනිම,හයේ පහර 16 කින් සහ හතරේ පහර 12 කින් වර්ණවත් කර තිබුණේය.

පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ සිටම වේගයෙන් පන්දුවට පහර දීමට උනන්දුවක් දැක්වූ කලම්බු නායකයා තම පළමු ලකුණු 100 සඳහා පන්දු 92 කට මුහුණ දුන්නේය. අනතුරුව ද්විත්ව ශතකය කරා ගිය ගමනේදී රැස් කර ගන්නා ලද ඉතිරි ලකුණු 100 සඳහා චරිත් වැය කරන ලද්දේ පන්දු 48 ක් පමණි. කලම්බු ඉනිම හමාර වීමට පන්දු දෙකකට පෙර අසලංකා දැවී ගියේ ළහිරු මදුශංකගේ වේගපන්දුවක් හමුවේ විජයකාන්ත් වියස්කාන්ත් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

මෙම සුවිශේෂී ඉනිම ප්‍රධාන කොට කලම්බු කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 6 ක් දැවී ලකුණු 413 ක් රැස් කර ගැනීමට අවස්ථාව උදාවිය. එයද නැෂනල් සුපර් ලීග් තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය.

චරිත් අසලංකට අමතරව ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 126 ක් රැස් කර ගත් අතර ඊට ඔහු පන්දු 113 ක් වැය කළේය. හයේ පහර 6 ක් සහ හතරේ පහර 10 ක් අවිශ්කගේ ඉනිමට ඇතුළත්ව තිබිණ.

මැදපෙළින් පැමිණි දසුන් ශානක වේගවත් පිතිහරඹයක නිරතවෙමින් හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් පන්දු 18 කදී ලකුණු 39 ක් ලබා ගත්තේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි. දසුන් එල්ල කරන ලද හයේ පහර 4 න් 3 ක්ම ඉසිත විජේසුන්දර විසින් ක්‍රියාත්මක කරන ලද 49 වැනි පන්දුවාරයේ පිට පිට  පන්දු 3 කදී එල්ල කරන ලද ඒවා විය.

පන්දු යැවීම ගත් විට වැඩිම ප්‍රහාරයකට ලක්වූ පන්දු යවන්නා බවට පත්වූයේ මතීෂ පතිරණ විය. ඔහු ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 8 දී චරිත් ඇතුළු ප්‍රතිවාදී පිතිකරුවෝ ලකුණු 85 ක් උදුරගෙන තිබුණේ කඩුලු 2 ක් පමණක් කවාකාරව පන්දු යවන්නා හමුවේ ලබා දෙමිනි. ඔහුට අමතරව ජෙෆ්රි වැන්ඩර්සි, ළහිරු මදුසංඛ සහ ඉසිත විජේසුන්දරටද ලකුණු 70 සීමාව ඉක්මවා ලකුණු ලබා ගැනීමට කලම්බු පිතිකරුවෝ සමත්වූහ.

මෙම තරගයේ විරයා සම්මානය චරිත් අසලංකට හිමිවූ අතර එහිදී ඔහුට කුසලාන සමඟ මුදලින් රු. ලක්ෂ හතහමාරක් පිරිනැමිණ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු සාමාජික, තරග සංවිධාන කමිටු සභාපති සමන්ත දොඩන්වෙල මහතාගේ  ප්‍රධානත්වයෙන් පැවැති අදාළ ත්‍යාග ප්‍රධානෝත්සවයේදී චරිත්ට තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා වෙනුවෙන් පිරිනැමෙන තරගාවලියේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය. ඒ වෙනුවෙන් ඔහුට එම කුසලාන සමඟ රු. මිලියන 1.5 ක මුදල් ත්‍යාගයක් හිමිවිය.

මේ අතර තරගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙස තරග 4 කදී ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 90.67 ක් රඳවා ගනිමින් ලකුණු 272 ක්  රැස් කිරීමට සමත් කැන්ඩි  කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ ද තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස තරග 8 කදී කඩුලු 17 ක් බිඳ හෙලූ ගෝල් කණ්ඩායමේ මුදිත ලක්ෂාන් ද සම්මාන දිනා ගත්හ. ඔවුන්ට ඒ වෙනුවෙන් එම කුසලාාන සමඟ මුදලින් රුපියල් මිලියනය බැගින් හිමිවිය.

කලම්බු ඉනිම පන්දුවාර 50 කදී කඩුලු 6 ට ලකුණු 413 යි

චරිත් අසලංක 206, අවිශ්ක ප්‍රනාන්දු 126, කුසල් පෙරේරා 00, කුසල් මෙන්ඩිස් 01, නුවනිඳු ප්‍රනාන්දු 20, දසුන් ශානක 39*, චමිඳු වික්‍රමසිංහ 00, විශාඩ් රන්දික 01*, ළහිරු මදුශංක 77/2, මතීෂ පතිරණ 85/2, ඉසිත විජේසුන්දර 74/1

ජැෆ්නා කණ්ඩායම පන්දුවාර 47.1 කදී සියලු දෙනා දැවී ලකුණු 321 යි

රොන් චන්ද්‍රගුප්ත 56, සඳුන් වීරක්කොඩි 13, හසිත බෝයෙගොඩ 06, ජනිත් ලියනගේ 16, මොහොමඩ් ශමාස් 49, ළහිරු මදුශංක 104, රන්මිත් ජයසේන 22, ඉසිත විජේසුන්දර 19, විජයකාන්ත් වියස්කාන්ත් 06, ජෙෆ්රි වැන්ඩර්සි 17, මතීෂ පතිරණ 00*, දිලුම් සුධීර 53/3, දසුන් ශානක 67/2, චරිත් අසලංක 51/2, නුවන් තුෂාර 62/2, චමිඳු වික්‍රමසිංහ 58/1

අවසන් මහ තරගයේ වීරයා ලෙසින් සම්මානයට පාත්‍ර වුණු කලම්බු නායක චරිත් අසලංක, එම කුසලාන සහ චෙක්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික, තරගාවලි සංවිධාන කමිටුවේ ප්‍රධානී සමන්ත දොඩන්වෙල මහතා අතින් ලබාගත් අවස්ථාව.
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සම්මානයට පාත්‍ර වුණු ගාල්ල කණ්ඩායමේ මුදිත ලක්ෂාන්, එම කුසලාන සහ චෙක්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික, තරගාවලි සංවිධාන කමිටුවේ ප්‍රධානී සමන්ත දොඩන්වෙල මහතා අතින් ලබාගත් අවස්ථාව.
තරගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙසින් සම්මානයට පාත්‍ර වුණු කැන්ඩි කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ, එම කුසලාන සහ චෙක්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික, තරගාවලි සංවිධාන කමිටුවේ ප්‍රධානී සමන්ත දොඩන්වෙල මහතා අතින් ලබාගත් අවස්ථාව.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මානයට පාත්‍ර වුණු කලම්බු නායක චරිත් අසලංක, එම කුසලාන සහ චෙක්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික, තරගාවලි සංවිධාන කමිටුවේ ප්‍රධානී සමන්ත දොඩන්වෙල මහතා අතින් ලබාගත් අවස්ථාව.

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee