නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ සහ බංග්ලාදේශ ‘ඒ‘ කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 19ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සමත්විය.
ඕමාන්හි අල් අමරට් ක්‍රීඩාංගණයේ අද පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම කඩුලු 7කට ලකුණු 161ක් රැස් කරගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ බංග්ලාදේශ ‘ඒ‘ කණ්ඩායම කඩුලු 7ක් දැවී රැස් කරගත්තේ ලකුණු 142ක් පමණි. මෙම ජයග්‍රහණය මෙවර නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම ලද දෙවැනි ජයග්‍රහණය විය. ඒ සමඟ ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම ‘ඒ‘ කාණ්ඩයේ පළමු තැනට පත්ව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. එම කාණ්ඩයේ දෙවැනි තැනට ඇෆ්ගනිස්තාන ‘ඒ‘ පිල පත්වූ අතර, බංග්ලාදේහ ‘ඒ‘ හා හොංකොං කණ්ඩායම් ඉවතට ගියහ.
පළමු ඕවර් 3 අවසන් වෙද්දී කිසිවෙකු නොදැවී ලකුණු 38ක් ලබා සිටි බංග්ලාදේශ ‘ඒ‘ පිල ප්‍රබල ප්‍රහාරයකින් ආරම්භ කළද, අවසන් ඕවරයේදී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 23ක් ලබාගත යුතුව තිබිණි. එහෙත් ඔවුන්ට එම ඉලක්කය සම්පූර්ණ කිරීමට අවසන් ඕවරය යැවූ ඒෂාන් මාලිංග ඉඩ ලබා දුන්නේ නැත.
බංග්ලාදේශ ‘ඒ‘ කණ්ඩායම මනා පාලනයකට යටත් කරමින් පන්දු යැවූ දුෂාන් හේමන්ත ලකුණු 23තට කඩුලු 3ක් බිදහෙලා දස්කම් දැක්වීම තරගයේ වාසිය ශ්‍රී ලංකාව දෙසට හැරීමට ප්‍රධාන හේතුවක් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පවන් රත්නායක පන්දු 26කදීහයේ 2ක් හා හතරේ පහර 3ක් සමඟ ලකුණු 42ක් ලබා ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූවේය. පවන් හා සහන් ආරච්චිගේ එක්ව පන්දු 42කදී ලකුණු 64ක් සිවුවැනි කඩුල්ලට එක් කිරීමෙන් ලකුණු පුවරුව තරමක් ශක්තිමත් විය. සහන් ආරච්චිගේ පන්දු 25කදී හතරේ පහර 2ක් සමඟ ලකුණු 30ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ‘ඒ‘ පිලේ ආරම්භක පිතිකරුවන් වූ ළහිරු උදාර ලකුණු 35ක්, යශෝධ ලංකා ලකුණු 23ක් එක්කරද්දී නායක නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 19ක් වාර්තා කළේය.
ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 161යි (ඕවර් 20)
යශෝධ ලංකා 23, ළහිරු උදාර 35, නුවනිඳු ප්‍රනාන්දු 19, සහන් ආරච්චිගේ 30, පවන් රත්නායක 42 (රිපෝන් මන්ඩෝල් 36/2, රීජූර් රහ්මන් 35/2)
බංග්ලාදේශ ‘ඒ‘ කණ්ඩායම කඩුලු 7ට ලකුණු 142යි (ඕවර් 20)
සායිෆ් හසන් 29, පාර්වේස් හොසේන් 24, තව්හිඩ් හිරිඩෝයි 12, අබූ හයිඩර් නොදැවී 38 (දුෂාන් හේමන්ත 23/3, නිමේෂ් විමුක්ති 30/1, රමේෂ් මෙන්ඩිස් 19/1, එෂාන් මාලිංග 22/1, නිපුන් රන්සික 26/3)