ප්‍රථම වතාවට පවත්වනු ලබන ටී10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත එළිදැක්වීම එළැඹෙන නොවැම්බර් මස 10 වැනිදා කොළඹදී පැවැත්වේ. ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ආකෘතියෙන් කණ්ඩායම් හයකදී දේශීය හා ජාත්‍යන්තර ක්‍රීඩකයින් තරගවදින මෙම තරගාවලිය මේ වසරේ දෙසැම්බර් 12 සිට 22 දක්වා පැවැත්වීමට නියමිතය.
සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයින් 17ක් සංචිතයට එක්කරගත යුතු අතර, අවම වශයෙන් ක්‍රීඩකයින් 15ක් ඔවුන්ගේ සංචිතය සඳහා තෝරාගත යුතු වේ. ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ අවසන් දිනය නොවැම්බර් 1 වැනිදා අවසන් වන අතර සෘජුවම කොන්ත්‍රාත්ගතවන ක්‍රීඩකයින් ගිවිසුම්ගතවීම උදෙසා අවසන් දිනය ලෙස නොවැම්බර් 5 වැනිදා ප්‍රකාශයට පත් කොට ඇත.
සෑම ෆ්‍රැන්චයිස් කණ්ඩායමක් එක් එක් කාණ්ඩයෙන් ක්‍රීඩකයන් හය දෙනෙකු සමඟ සෘජුවම ගිවිසුම් අත්සන් කළ යුතුය. එක් සුවිශේෂී සංකේතාත්මක (one Icon player) ක්‍රීඩකයෙක්, ප්ලැටිනම් ක්‍රීඩකයෙක්, ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයෙක් සහ විදෙස් රටක ක්‍රීඩකයෙක් සම්බන්ධකරගත යුතුවන අතර, ඒ හා සමානව ‘බී‘ කාණ්ඩයෙන්, එක් දේශීය සහ එක් විදේශීය ක්‍රීඩකයෙකු එක්කර ගැනීමට ෆ්‍රැන්චයිස් කණ්ඩායමකට ඉඩ සලසා දී ඇත.
කෙටුම්පත සම්පූර්ණ කිරීමට වට 11ක් ඇති අතර, පළමු වටය අතින් දිනුම් ඇදීමේ ක්‍රමයට සිඳුවන අතර, ඉතිරි වට වලදී ක්‍රීඩකයින් තේරීමේ ඇණවුම් අනුව සියලුම ෆ්‍රැන්චයිස් කණ්ඩායම් සමබරව සිඳු කළ යුතුයි.
පළමු වට දෙකේදී, එක් ශ්‍රී ලාංකිකයෙකු සහ එක් විදේශිකයෙකු බැගින් මුල් පෙළේ ක්‍රීඩකයින් දෙදෙනෙකු තෝරාගත යුතුවන අතර, ඒ එක් අයෙකුට ඇමරිකානු ඩොලර් 35,000 (‘ඒ’ කාණ්ඩයේ) මිලක් ගෙවිය යුතු වේ. තුන්වන සහ සිව්වන වටයේදී තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු, නැවත එක් ශ්‍රී ලාංකිකයෙකු සහ විදේශීය ක්‍රීඩකයෙකු ඇමෙරිකානු ඩොලර් 20,000 බැගින් (‘බී’ කාණ්ඩයට) තෝරා ගත යුතුවේ.
වට 5 සිට 7 දක්වා, ෆ්‍රැන්චයිස් කණ්ඩායම්හට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ එක් විදේශීය ක්‍රීඩකයෙකු තෝරා ගත හැකි අතර, එම ‘සී’ කාණ්ඩයේ ක්‍රීඩකයෙකුගේ මිල ඇමරිකානු ඩොලර් 10,000 වේ. 8 වැනි වටයේදී ශ්‍රී ලංකාවේ නැගී එන ක්‍රීඩකයකු ඇමෙරිකානු ඩොලර් 2,500කට තෝරා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර, 9 වැනි වටයේදී සිම්බාබ්වේ හෝ බටහිර ඉන්දීය කොදෙව් යන රටවලින් නැගී එන ක්‍රීඩකයකු ඇමෙරිකානු ඩොලර් 2,500කට තෝරා ගතයුතු වේ.
නවතම අත්දැකීමක් වූ මෙම ටී10 ක්‍රිකට් තරගාවලිය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පැවසුවේ, ටී10 සුපර් ලීග් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත සැකසීම ශ්‍රී ලංකා ක්‍රිකට් දින දර්ශනය වර්ණවත් කරන සහ ක්‍රිකට් ලෝලීන්ට විනෝදාත්මක තරගාවලියකට වේදිකාව සකසන එකක් බවට විශාල විශ්වාසයක් පවතින බවය. “මෙය අපගේ ක්‍රීඩකයින්ට සහ ක්‍රීඩා ලෝලීන්ට නව අත්දැකීමක්“ ශම්මි සිල්වා මහතා පැවැසීය.
ටී10 ග්ලෝබල් ස්පෝට්ස් නිර්මාතෘ සහ සභාපති නාවාබ් සාජි උල් සමුල්ක් මහතා පළමු ලංකා ටී10 සුපර් ලීග් සඳහා වන කෙටුම්පත ශ්‍රී ලංකාවේ ටී10 ක්‍රිකට් ඉහළ නැංවීමේ ගමන් මඟේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව පැවැසීය. දේශීය මෙන්ම ජාත්‍යන්තර දක්‍ෂතා ප්‍රදර්ශනය කරමින් තරගකාරී කණ්ඩායම් හයක් ශ්‍රී ලංකා ටී10 තරගාවලියට එක්වීම පිළිබඳ සතුටුවන බවත් එය රසිකයින්ට සහ ක්‍රීඩකයින්ට ප්‍රීතිමත් අත්දැකීමක් නිර්මාණය කරවන්නක් බවත් සාජි උල් සමුල්ක් මහතා සඳහන් කළේය.
අයිපීජී හි කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ අනිල් මොහාන් මහතා අදහස් දක්වමින් පැවසුවේ ටී10 ආකෘතියට සරිලන පරිදි ශක්තිමත් ක්‍රීඩකයින් පිරිසක් තෝරා ගැනීමට ක්‍රීඩක කෙටුම්පත මඟින් හැකියාව ලැබෙනු ඇති බැවින් එය ශ්‍රී ලංකාව තුල ශක්තිමත් ටී10 ලීගයකට වේදිකාව සකස් කරනු ඇති බවය.
ලංකා ටී10 සුපර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා ක්‍රිකට් ක්‍රීඩාව දිනෙන් දින දියුණු විය යුතු බවත්, ලංකා ටී10 සුපර් ලීගය නිසැකවම අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ නව සීමා මායිම් පුළුල් කරන විනෝදකාමී තරගාවලියක් වනු ඇති බවත් බලාපොරොත්තු පළ කළේය’