slc
logo
Home   |    News
ඔක්තෝබර් 8, 2024
වසරක් ඇතුළත ඒස් කැපිටල් දෙවැනි ශූරතාවත් දිනයි

sinhala editor

අංක 10 පිතිකරු දනාල් හේමානන්ද (70) සමග එකතු වූ සසංක නිර්මාල් නොදැවී ලකුණු 106 ක් ද සමඟ නව වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 166 ක සම්බන්ධතාව හේතු කොට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවන ලද වයස අවුරුදු 23 න්  පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඒස් කැපිටල් කණ්ඩායමට හැකියාව උදාවිය.  මේ මෙම වසරේදී ඒස් කැපිටල් කණ්ඩායමක් ශූරතාවක් දිනාගත් දෙවැනි අවස්ථාව ලෙසින් සනිටුහන් වූ අතර මීට පෙර ඔවුන් මීට මාසයකට පමණ ඉහතදී පැවැති ටියර් ‘ඒ‘ එක්දින ක්‍රිකට් තරගාවලියේය ශූරයින් ලෙසින් අභිසෙස් ලදී.

මේ තරගයේ මුලින් පන්දුවට පහර දුන් මුවර්ස් කණ්ඩායම ප්‍රථම ඉනිමේ රැස් කළ ලකුණු 233ට පිළිතුරු ලෙස ඒස් කැපිටල් ප්‍රථම ඉනිමේ දී කඩුලු නවයකට ලකුණු 317ක් ලබා මුල් ඉනිමේ දී ලකුණු 84කින් ඉදිරියෙන් සිටීමට අවස්ථාව උදා වුයේ සසංක නිර්මාල්ගේ සහ දනාල් හේමානන්දගේ දක්ෂ පිතිහරඹය මතය. මුවර්ස් දෙවන ඉනිම සඳහා දෙවන දින තරගය නතර කරන විට කඩුලු තුනකට ලකුණු 124ක් ලබා සිටියේය.

 තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස යේසිත් රූපසිංහත් (මුවර්ස්) අවසාන තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සසංක නිර්මාල් ද (ඒස් කැපිටල්) තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස රවිෂාන් ද සිල්වාත් (මුවර්ස්) තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස විහස් තෙව්මිකත් (ටැමිල් යුනියන්) තේරිණි.

 මේ අවසාන මහා තරගයේ මුලින් පන්දුවට පහර දුන් මුවර්ස් මුල් ඉනිම සඳහා ලකුණු 233කට දැවී යාමෙන් පසු ප්‍රථම දින නිම වන විට ඒස් කැපිටල් කඩුලු පහකට ලකුණු 110ක් ලබා සිටියේය. ඒස් කැපිටල් ලකුණු 53කට කඩුලු පහක් දැවී සිටි අවස්ථාවේ සිට හයවන කඩුල්ලට පන්දුවට පහර දුන් අංක හත පිතිකරු රවීන් ද සිල්වා (44) මුළු ලකුණු 122දී හයවන කඩුල්ල ලෙසත් අංක හය පිතිකරු සකුන ලියනගේ (24) මුළු ලකුණු 126දී හත්වන කඩුල්ල ලෙසත් අංක අට පිතිකරු රවිඳු රත්නායක (04) මුළු ලකුණු 129දී අටවන කඩුල්ල (පන්දුවාර 31.5දී) ලෙසත් දැවී යාමෙන් පසු කණ්ඩායම පත්වුයේ බලවත් අසීරු තාවයකටය.

 එහෙත් අංක නවය පිතිකරු සසංක නිර්මාල් සහ අංක දහය පිතිකරු දනාල් හේමානන්දගේ අධිෂ්ඨානය වුයේ නවවන කඩුල්ලට දීර්ඝ සබඳතාවයක් තබා ගනිමින් ප්‍රථම ඉනිමේ ජය හිමිකරගෙන සූරතාව අත්කර ගැනීමය.

 මොවුන් දෙදෙනාගේ අපේක්ෂාවන් මල්ඵල ගැනුණේ අංක නවය පිතිකරු සසංක නිර්මාල් නොදැවී ලකුණු 106ක් ද (පන්දු 167යි හතරේ නවයයි හයේ දෙකයි) අංක දහයේ පිතිකරු ලකුණු 70ක් ද (පන්දු 119යි හතරේ හතයි හයේ පහරයි) රැස් කරමින් නවවන කඩුල්ලට ලකුණු 186ක සබඳතාවයක් තබා ගනිමින් මුවර්ස් ප්‍රථම ඉනිමේ ලකුණු 233 ද පසුකර යාමෙනි.

ලකුණු පුවරුව

 මුවර්ස් මුල් ඉනිම පන්දුවාර 58.1කදී සියල්ල දැවී 233 – (ජනිෂ්ක පෙරේරා 92, යේසිත් රූපසිංහ 33, ඔමේෂ් මෙන්ඩිස් 27, රවිෂාන් ද සිල්වා 23, සෙනිත හැළඹගේ 16, කවිඳු අමන්ත 10/3, රවීන් ද සිල්වා 32/3, සසංක නිර්මාල් 24/1)

 ඒස් කැපිටල් මුල් ඉනිම පන්දුවාර 80.2කදී කඩුලු 9ට 317 – (සසංක නිර්මාල් නොදැවී 106, දනාල් හේමානන්ද 70, රවීන් ද සිල්වා 44, සකුන ලියනගේ 24, තරිඳු අමරසිංහ 20, තීරක රණතුංග 14, යේසිත් රූපසිංහ 53/3, ජනිෂ්ක පෙරේරා 52/3)

 මුවර්ස් දෙවන ඉනිම පන්දුවාර 19.2කදී කඩුලු 3ට 124 – (ඔමේෂ් මෙන්ඩිස් 50, යේසිත් රූපසිංහ නොදැවී 30, රවිෂාන් ද සිල්වා 16, මෙලාන් හංසක 17/2, කවිඳු අමන්ත 58/1)

අවසන් මහ තරගයේ වීරයා වූ සසංක නිර්මාල් ඔහුට හිමි කුසලාන සහ චෙක්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සභික, තරගාවලි සංවිධාන කමිටුවේ සාමාජික මාලන් ප්‍රනාන්දුපුල්ලේ මහතා අතින් ලබාගත් අවස්ථාව.
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා වුණු ටැමිල්වි යුනියන්හ ක්‍රීඩා සමාජයේ විහස් තෙව්මික ඔහුට හිමි කුසලාන සහ චෙක්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සභික, තරගාවලි සංවිධාන කමිටුවේ සාමාජික මාලන් ප්‍රනාන්දුපුල්ලේ මහතා අතින් ලබාගත් අවස්ථාව.
තරගාවලියේ දක්ෂතම පිතිකරුවා බවට පත් වුණු මුවර්ස් ක්‍රීඩා සමාජයේ රවිෂාන් ද සිල්වා තමන්ට හිමි කුසලාන සහ චෙක්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සභික, තරගාවලි සංවිධාන කමිටුවේ සාමාජික මාලන් ප්‍රනාන්දුපුල්ලේ මහතා අතින් ලබාගත් අවස්ථාව.
තරගාවලියේ වීරයා වුණු මුවර්ස් ක්‍රීඩා සමාජයේ යෙසිත් රූපසිංහ ඔහුට හිමි කුසලාන සහ චෙක්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සභික, තරගාවලි සංවිධාන කමිටුවේ සාමාජික මාලන් ප්‍රනාන්දුපුල්ලේ මහතා අතින් ලබාගත් අවස්ථාව.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar