ඉතිහාසයේ පළමු වතාවට විස්සයි-20 තරගාවලියකදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ යළිත් එක්දින තරගාවලිය යටතේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හෙට (20 දා) මුණ ගැසෙනු ඇත. ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියෙන් හෙට ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම් දෙකම ඉවත්ව සිටින හෙයින් හෙටින් ආරම්භ වන තරගාවලියේ එතරම්ම වැදගත් භාවයක් නොමැති නමුත් දෙපිළම සිය ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමේ අභිලාෂයන්ගෙන් පසුවෙති.
“ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීම කියන්නේ වැදගත් දෙයක්. හොඳ ශ්‍රේණිගත කිරීම්වල ඉන්න නම් අපි නිතරම තරග ජයග්‍රහණය කළ යුතුයි“ යැයි හෙටින් ඇරඹෙන් තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර අද (19 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සඳහන් කර සිටියේය.
දිවා/රාත්‍රී තරගයක් ලෙසින් හෙට ප.ව. 2.30 ට ආරම්භ වන මෙම තරගයේදී ද ශ්‍රී ලංකාව සිය දඟ පන්දුව පිළිබඳව විශ්වාසය තබා තිබේ. ඊට දඹුල්ලේදී ලද තරගාවලි ජයග්‍රහණයද ඒ සඳහා ඉවහල් වී තිබේ.
“ඇත්තටම දඹුල්ලේ තරගාවලිය ජයග්‍රහණය කිරීම අපිට හොඳ මානසික ශක්තියක්. ජයග්‍රාහී හැඟීමක් අත්‍යවශ්‍යයි. අනෙක වඩාත් වැදගත් වන්නේ අපි විස්සයි-20 තරගාවලියේ පසුපසින් ඉඳලා ඇවිදින් තරගාවලිය ජයග්‍රහණය කිරීම“ යැයි අසලංක සඳහන් කර සිටියේය.
“අපි අපේ ශක්තියෙන් තරග දිනන්නේ කොහොමද කියලත් බලන්න වෙනවා. මොකද අපි වෙන රටවලට ගියාම එයාලා සකස් කරන තණතීරු මත ක්‍රීඩා කරන්නයි අපිට වෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කරනකොට අපේ ශක්තිය ප්‍රෙයා්ජනයට ගන්න එක සාමාන්‍ය දෙයක්“ යැයි ද චරිත් සඳහන් කර සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමට සැබැවින්ම මේ දින වල ඇත්තේ සොඳුරු හිස රදයකි. ඒ ප්‍රමාණයටත් වඩා කණ්ඩායම තුළ හොද ආදේශකයින් නිර්මාණය වී තිබීමයි. ශ්‍රී ලංකාවේ ප්‍රභලම ශක්තිය වන දඟ පන්දුව සඳහා ශ්‍රී ලංකාවට ඕනෑ තරම් විකල්ප තිබේ. වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ආධුනික ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ ජෙෆ්රි වැන්ඩර්සි මේ දින වල එක්දින කණ්ඩායමේ ප්‍රබලතම දඟයෝ වෙති. ඇරත් ඉන් ක්‍රීඩා කළ හැක්කේ තිදෙනෙකුට පමණි. ඒ අතරිනුත් කණ්ඩායම තුළ දඟ පන්දු යැවීමට හැකි කමිඳු මෙන්ඩිස් මෙන්ම චරිත් අසලංකටද දඟ පන්දු යැවිය හැකි බැවිනි.
කිසියම් සිත් තැවුලකට කරුණක් වන්නේ නම් ඒ හෙට දිනයේදී කණ්ඩායමේ මෙතෙක් එක්ම ද්විත්ව ශතක ලාභියා වන පැතුම් නිස්සංකට සහභාගිවීම අවධානම් සහිත ස්වභාවයක් ගෙන තිබීම වේ. දෙවැනි විස්සයි-20 තරගය අතරතුරදී පැතුම් ආබාධයකට ලක් වූ නමුත් තෙවැනි තරගයේදීද ඔහු ක්‍රීඩා කරන ලද්දේ ඔහුට රිසි තැන පන්දු රැකීමේ අවස්ථාව දීමේ පොරොන්දුව පරිදිය. කෙසේ වෙතත් සඳහන් වන ආකාරයට හෙට තරගය සඳහා ක්‍රීඩා කරන අවසන් 11 දෙනා අතරට පැතුම් එක්වීමේ ප්‍රවණතාවය ඉතා අල්ප වනු ඇති බවට අනුමාන කළ හැක.
චාමික කරුණාරත්න වෙනුවට චමිදු වික්‍රමසිංහ කණ්ඩායමට පැමිණ සිටින නමුත් ඔහුට හෙට දිනයේදී ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවනු ඇත. ඒ වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස ජනිත් ලියනගේ අවසන් තරග කීපයේදීම ඉතා හොඳින් සිය යුතුකම ඉටු කරීමට සමත්ව සිටින බැවිනි.
මේ අතර අද තරගය පිළිබඳව අදහස් දක්වා සිටි කොදෙව් නායක ෂායි හෝප් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවට පැමිණ තරග කිරීමේදී ඔවුන් සතු ප්‍රබලම දඟ පන්දුවේ අභියෝගයට තම කණ්ඩායමට මුහුණ දීමට සිදුවනු ඇති බවයි. “අපි දඟ පන්දුව සුවිශේෂී භූමිකාවක් ඉටු කරනවා යන අපේක්ෂාව සාමාන්‍ය දෙයක්. සිදුවන්නට යන දේ ගැන ඕනෑවට වඩා කළින් තීරණය කරලා ඔවුන් එක්ක තරග කරන්න බෑ“ යැයි සඳහන් කර සිටින හෝප්, “අපි බලමු තණතීරුවෙන් ලැබෙන දේ මොකද්ද කියලා. ඒ ගැනත් අදහසක් තිබීම වැදගත්. නමුත් ලැබෙන්නේ ඔබ ක්‍රීඩා කරන දේම තමයි. ඒ හින්දා අපි ඕනෑඹ තත්ත්වයකට අනුගත වෙලා ක්‍රීඩා කිරීමට කණ්ඩායමක් විදියට වග බලා ගන්න ඕනෑ“ යි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3 දීම කණ්ඩායමට ක්‍රීඩා කරන අවසන් 11 දෙනා නම් කර සිටි නමුත් මෙම තරගාවලිය්දී පැය 24 කට පෙර නම් නොකිරීම කැපී පෙනෙයි.
ශ්‍රී ලංකා සංචිතය – චරිත් අසලංක (නායක), අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නිශාන් මදුෂ්ක, සධීර සමරවික්‍රම, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි, චමිඳු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුශංක, මොහොමඩ් ශිරාස්.
බටහිර ඉන්දීය කොදෙව් සංචිතය – ෂායි හෝප් (නායක), අල්සාරි ජෝසප්, ජුවෙල් ඇන්ඩෘෘ, ඇලික් අතන්සේ, කේසි කාර්ට්, රොස්ටන් චේස්, මැතිව් ෆෝඩ්, ෂමාර් ජෝශප්, බ්‍රෙන්ඩන් කිං, එවින් ලුවිස්, ගුඩාෂේක් මෝති, පර්ෆේන් රදර්ෆර්ඩ්, ජේඩ්න් සීලස්, රොමාරියෝ ෂෙපර්ඩ්, හේඩ්න් වෝල්ෂ්.