slc
logo
Home   |    News
නොවැම්බර් 3, 2024
වසර 17කට පසු ශ්‍රී ලංකා පිල හොංකොං සික්සස් ශූරතාව දිනයි

Sri Lanka Cricket

වසර 17කට පසු හොංකොං සික්සස් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ළහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය. අවසන් මහා තරගයේදී පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත්වූ අතර, අවසන් තරගයේ වීරයා සම්මානය ධනංජය ලක්ෂාන්ට හිමි විය. තරගාවලිය පුරා කඩුලු 8ක් බිදහෙලා පන්දුවෙන් දස්කම් පෑ තරිඳු රත්නායක තරගාවලියේ වීරයාට හිමි සම්මානය දිනා ගත්තේය.

අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර් 5.2කදී කඩුලු 6ක් දැවී ලකුණු 72ක් ලබාගත් අතර, ලකුණු 73ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී තිබියදී තරගයේ 5 වැනි ඕවරයේදී ලකුණු 76ක් ලබා ජයග්‍රහණය තහවුරු කර ගත්හ.

ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි පන්දු 13කදී හයේ 4ක් හා හතරේ පහරක් සමඟ ලකුණු 34ක් ලබාගත් අතර, ළහිරු මධුසංඛ පන්දු 5කදී හයේ පහර 3ක් සමඟ ලකුණු 19ක් හා තරිඳු රත්නායක පන්දු 4කදී හයේ පහර 2ක් හා හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 22ක් ලබා ගත්හ.

ධනංජය ලක්ෂාන් සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් ලබාගත් අතර නිමේෂ් විමුක්ති සහ ළහිරු මධුශංක කඩුල්ල බැගින් දවා ගත්හ.

හොංකොං සික්සස් ක්‍රිකට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙයවූ අතර, ඉන්දික ද සේරම්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම 2007 වසරේදී ශූරතාව දිනා ගත්තේය.

තරගාවලියේ අද (3) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය කඩුලු 3කින් පරාජය කිරීමට සමත්වූ ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට පිවිසි අතර, අනෙක් අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියාව කඩුලු 4කින් පරාජය කොට පාකිස්තානය අවසන් සටනට සුදුසුකම් ලබා ගත්තේය.

හොංකොං මොන්ග් කොක් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ‘ඩී‘ කාණ්ඩයෙන් මූලික වටයේ තරග සඳහා එක්වූ අතර, ඕමාන කණ්ඩායම කඩුලු 4කින් හා බංග්ලාදේශය ලකුණු 18කින් පරාජයට පත් කරමින් එම කාණ්ඩයේ පෙරමුණ ගත්තේය. ශ්‍රී ලංකාව හා නේපාලය අතර පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් ලකුණු 40ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee