ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගය ලෙසින් පැවැති නුවරඑළිය කිංග්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් ලකුණු 05 ක තියුණු ජයක් වාර්තා කිරීමට කැන්ඩි බෝල්ට්ස් පිල අද (17 දා) සමත්වූවේය. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ලද ජයත් සමඟ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටය හෙවත් එලිමිනේටර් තරගය සඳහා වන අවසන් කණ්ඩායම් හතරේ සිව්වැනි ස්ථානයට පත් කණ්ඩායමට බවටද කැන්ඩි බෝල්ට්ස් කණ්ඩායම පත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 112 ක ඉලක්කයක් හඹා ගිය නුවරඑළිය කිංග්ස් කණ්ඩායම පන්දුවාර 10 කදී කඩුලු 5 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 106 ක් පමණි. හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් ද සමගනින් නොදැවී ලකුණු 50 ක් ලබා ගත් අවිශ්ක ප්‍රනාන්දු නුවරඑළිය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය. ඔහු ඉනිම ආරම්භයේ සිට අවසානය දක්වාම කඩුල්ලේ රැඳි සිටියද එම පිතිහරඹයට තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට නොහැකි විය.
අවිශ්ක සහ අනෙක් ආරම්භක පිතිකරුවා වූ කයිල් මේයර්ස් අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 42 ක සාර්ථක සම්බන්ධතාවක් එක් කිරීමට සමත් වුවත්, තිසර පෙරේරා සහ ඇරිනෙස්ටෝ වෙස්හා කඩුලු 2 බැගින් දවා ගැගනීමට සමත්වීම නිසා ඔවුන්ගේ පිතිහරඹයේ රිද්මයට පහරක් එල්ල විණ. ඔවුන් එම ලකුණු 42 රැස් කිරීමට වැය කරන ලද්දේ පන්දු 20 ක් පමණක් වන අතර එහිදී මේයර්ස් 36 ක් වාර්තා කර ගත්තේය.
පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි බෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් පන්දු 14 කදී ලකුණු 41 ක් රැස් කිරීමට පැතුම් නිස්සංක සමත්වූවේය. ඔහුගේ සාර්ථක ආරම්භයත් සමගින් පන්දුවට පහර දුන් සෙසු පිතිකරුවන් අතරින් ෂෙහාන් ප්‍රනාන්දු පන්දු 11 කින් වේගවත් ලකුණු 33 ක් රැස් කරගත්තේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි.
මෙහිදී කැපී පෙනන පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත තම පන්දුවාර 2 ලකුණු 16 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳ හෙලුවේ කඩුලු ත්‍රිත්වයකටද හිමිකම් කියමිනි. මෙය මෙවර තරගාවලියේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරන ලද දෙවැනි අවස්ථාව ලෙසින් සනිටුහන් විය. ඔහු ට පෙර ගෝල් මාවල්ස් පිලේ සහූර් ඛාන් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත්වූ අතර එය මෙම අභිනව තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය බවට පත්වූවේය. කසුන් ට අමතරව ළහිරු මදුශංක ලකුණු 9 කදී කඩුලු 2 ක් දවා ගනිමින් ප්‍රතිවාදීන්ට තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වූවේය.
කැන්ඩි බෝල්ට්ස් පන්දුවාර 10 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 111 යි – පැතුම් නිස්සංක 41, දිනේෂ් චන්දිමාල් 13, ෂෙහාන් ජයසූරිය 33, කසුන් රාජිත 16/4, ළහිරු මදුශංක 09/2
නුවරඑළිය කිංග්ස් පන්දුවාර 10 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 106 යි – අවිශ්ක ප්‍රනාන්දු 50*, කයිල් මේයර්ස් 36, තිසර පෙරේරා 11/2, ඇරිනෙස්ටෝ වෙස්හා 29/2