slc
logo
Home   |    News
දෙසැම්බර් 28, 2024
ශ්‍රී ලංකාවට පළමු තරගයෙන් ලකුණු 8 ක පරාජයක්

sinhala editor

සත්කාරක නවසීලන්ත පිලට එරෙහිව මවුන්ට් මන්ගනුයි නුවරදී අද (28 දා) පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ලකුණු 08ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඒ සමඟම තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායමට හැකියාව ලැබිණ.

ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් කරා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ලකුණු 121 ක සම්බන්ධතාවක් එක් කරමින් සාර්ථක සම්බන්ධතාවක් එක් කිරීමට සමත් වුවත්, අත්‍යවශ්‍ය මොහොතේදී ක්‍රියාත්මක වුණු නවසීලන්ත පන්දු යවන්නෝ ශ්‍රී ලංකා කණ්ඩායම අත තිබූ ජයග්‍රහණය උදුරා ගත්හ.

එහිදී පළමු වෙඩිමුරය පත්තු කළ ජේකබ් ඩෆී පන්දු 4 ක් ඇතුළත ශ්‍රී ලංකා පිතිකරුවන් සිවු දෙනෙකු දවා ගනිමින් එතෙක් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබූ වාසිය දෙපිළටම සම තත්ත්වයට රැගෙන ආවේය. කුසල් මෙන්ඩිස් (46), කුසල් පෙරේරා (00) සහ කමිදු මෙන්ඩිස් (00) තිදෙනාම ඩෆීගේ ගොදුරු බවට පත්වූහ. මෙම දක්ෂතාවය පදනම් කොට තරගයේ වීරයා සම්මානයෙන්ද ඩෆී පිදුම් ලැබුවේය.

කෙසේ වෙතත් 18 වැනි පන්දුවාරය අවසන් වන විටත් ශ්‍රී ලංකා පිල කඩුලු 4 කට ලකුණු 154 ක් ලබා ජයග්‍රහණයට ලකුණු 20 කින් පසුපසින් සිටියේ පන්දු 12 ක් අත තබා ගෙනයි. ඒ මොහොත වන විට පැතුම් නිස්සංක (90) ක් සහ භානුක රාජපක්ෂ (08) කඩුල්ලේ රැඳී සිටියහ.

එහෙත් 19 වැනි පන්දුවාරය යැවීමට පන්දුව අතට ගත් මැට් හෙන්රි පන්දු තුනක් ඇතුළතදී පැතුම් නිස්සංක සහ භානුක රාජපක්ෂව දවා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම සතු බලාපොරොත්තු උදුරා ගනිමිනි. අනතුරුව පිටියට පිවිසි මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග පන්දු දෙකක් ඇතුළත පිටියෙන් ඉවත් කළ සකාරි ෆෝක්ස් ලකුණු 164 කදී ශ්‍රී ලංකා ඉනිම නිමා කිරීමට දායකත්වය දැක්වූහ.

කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක රැස් කරන ලද ලකුණු හැරුණු කොට පන්දුවට පහර දීමට පැමිණි කිසිදු පිතිකරුවකු ලකුණු 10 සීමාව ඉක්මවාලීමට අපොහොසත්වීම කණගාටුදායක විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීම සඳහා ප්‍රතිවාදී පිලට ආරාධනා කර සිටියේය. බලාපොරොත්තු වූ පරිදිම නවසීලන්ත ඉනිමේ ආරම්භය බිඳ දමා දීමට බිනුර ප්‍රනාන්දු සමත්විය. නවසීලන්ත ඉනිමේ හරි අඩක් හෙවත් පළමු පන්දුවාර 10 අවසනදී ඔවුන්ගේ ලකුණු සටහන කියැවුණේ කඩුලු 5 කට ලකුණු 65 ක් වශයෙනි. කෙසේ වෙතත් පිටියට එක් වූ ඩැරල් මිචෙල් (62) සහ මයිකල් බ්‍රේස්වෙල් (59) එක්ව හය වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා ගත ලකුණු 105 ක සම්බන්ධතාවත් පවත්වමින් ලකුණු පුවරුව ලකුණු 170 න් ඔබ්බට රැගෙන ගියහ.

නවසීලන්ත පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 172 යි – (ඩැරල් මිචෙල් 62, මයිකල් බ්‍රේස්වෙල් 59, මාක් චැප්මන් 15, ටිම් රොබින්සන් 11, බිනුර ප්‍රනාන්දු 22/2, මහීෂ් තීක්ෂණ 29/2, වනිදු හසරංග 33/2)

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 164 යි – (පැතුම් නිස්සංක 90, කුසල් මෙන්ඩිස් 47, ජේකොබ් ඩෆී 21/3, මැට් හෙන්රි 28/2, සකාරි ෆෝල්ක්ස් 41/2)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee