slc
logo
Home   |    News
දෙසැම්බර් 28, 2024
ශ්‍රී ලංකාවට පළමු තරගයෙන් ලකුණු 8 ක පරාජයක්

sinhala editor

සත්කාරක නවසීලන්ත පිලට එරෙහිව මවුන්ට් මන්ගනුයි නුවරදී අද (28 දා) පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ලකුණු 08ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඒ සමඟම තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායමට හැකියාව ලැබිණ.

ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් කරා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ලකුණු 121 ක සම්බන්ධතාවක් එක් කරමින් සාර්ථක සම්බන්ධතාවක් එක් කිරීමට සමත් වුවත්, අත්‍යවශ්‍ය මොහොතේදී ක්‍රියාත්මක වුණු නවසීලන්ත පන්දු යවන්නෝ ශ්‍රී ලංකා කණ්ඩායම අත තිබූ ජයග්‍රහණය උදුරා ගත්හ.

එහිදී පළමු වෙඩිමුරය පත්තු කළ ජේකබ් ඩෆී පන්දු 4 ක් ඇතුළත ශ්‍රී ලංකා පිතිකරුවන් සිවු දෙනෙකු දවා ගනිමින් එතෙක් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබූ වාසිය දෙපිළටම සම තත්ත්වයට රැගෙන ආවේය. කුසල් මෙන්ඩිස් (46), කුසල් පෙරේරා (00) සහ කමිදු මෙන්ඩිස් (00) තිදෙනාම ඩෆීගේ ගොදුරු බවට පත්වූහ. මෙම දක්ෂතාවය පදනම් කොට තරගයේ වීරයා සම්මානයෙන්ද ඩෆී පිදුම් ලැබුවේය.

කෙසේ වෙතත් 18 වැනි පන්දුවාරය අවසන් වන විටත් ශ්‍රී ලංකා පිල කඩුලු 4 කට ලකුණු 154 ක් ලබා ජයග්‍රහණයට ලකුණු 20 කින් පසුපසින් සිටියේ පන්දු 12 ක් අත තබා ගෙනයි. ඒ මොහොත වන විට පැතුම් නිස්සංක (90) ක් සහ භානුක රාජපක්ෂ (08) කඩුල්ලේ රැඳී සිටියහ.

එහෙත් 19 වැනි පන්දුවාරය යැවීමට පන්දුව අතට ගත් මැට් හෙන්රි පන්දු තුනක් ඇතුළතදී පැතුම් නිස්සංක සහ භානුක රාජපක්ෂව දවා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම සතු බලාපොරොත්තු උදුරා ගනිමිනි. අනතුරුව පිටියට පිවිසි මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග පන්දු දෙකක් ඇතුළත පිටියෙන් ඉවත් කළ සකාරි ෆෝක්ස් ලකුණු 164 කදී ශ්‍රී ලංකා ඉනිම නිමා කිරීමට දායකත්වය දැක්වූහ.

කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක රැස් කරන ලද ලකුණු හැරුණු කොට පන්දුවට පහර දීමට පැමිණි කිසිදු පිතිකරුවකු ලකුණු 10 සීමාව ඉක්මවාලීමට අපොහොසත්වීම කණගාටුදායක විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීම සඳහා ප්‍රතිවාදී පිලට ආරාධනා කර සිටියේය. බලාපොරොත්තු වූ පරිදිම නවසීලන්ත ඉනිමේ ආරම්භය බිඳ දමා දීමට බිනුර ප්‍රනාන්දු සමත්විය. නවසීලන්ත ඉනිමේ හරි අඩක් හෙවත් පළමු පන්දුවාර 10 අවසනදී ඔවුන්ගේ ලකුණු සටහන කියැවුණේ කඩුලු 5 කට ලකුණු 65 ක් වශයෙනි. කෙසේ වෙතත් පිටියට එක් වූ ඩැරල් මිචෙල් (62) සහ මයිකල් බ්‍රේස්වෙල් (59) එක්ව හය වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා ගත ලකුණු 105 ක සම්බන්ධතාවත් පවත්වමින් ලකුණු පුවරුව ලකුණු 170 න් ඔබ්බට රැගෙන ගියහ.

නවසීලන්ත පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 172 යි – (ඩැරල් මිචෙල් 62, මයිකල් බ්‍රේස්වෙල් 59, මාක් චැප්මන් 15, ටිම් රොබින්සන් 11, බිනුර ප්‍රනාන්දු 22/2, මහීෂ් තීක්ෂණ 29/2, වනිදු හසරංග 33/2)

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 164 යි – (පැතුම් නිස්සංක 90, කුසල් මෙන්ඩිස් 47, ජේකොබ් ඩෆී 21/3, මැට් හෙන්රි 28/2, සකාරි ෆෝල්ක්ස් 41/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar