slc
logo
Home   |    News
ජූලි 23, 2026
සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට

sinhala editor

ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් පිල, තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට අද (23 දා) පස්වරුවේදී සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 472ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා යොවුන් පිල දෙවැනි ඉනිමේදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 260ක් පමණි. අවසන් දිනය ආරම්භ වන විට කඩුලු හයක් අතැතිව සිටි ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක විමත් දින්සර සහ කවිජ ගමගේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් දැඩි ප්‍රතිරෝධයක් ගොඩනඟමින් ඉන්දීය පන්දු යවන්නන්ට දැඩි අභියෝගයක් එල්ල කළහ.

පන්දු 129කදී හතරේ පහර 9ක් සමඟ ලකුණු 64ක් රැස් කළ විමත් දින්සරගේ ඉනිම රෝහිත් යාදව් විසින් නිමා කිරීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම කඩා වැටීමට පටන් ගත්තේය. පන්දු 152ක් පුරා කඩුල්ල රැක ගනිමින් ලකුණු 36ක් රැස් කළ කවිජ ගමගේද යාදව්ගේ ගොදුරක් බවට පත්විය.

අවසන් මොහොතේ ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වූ සෙත්මික සෙනෙවිරත්න පන්දු 49කින් හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමඟ ලකුණු 42ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිලේ අවසන් පිතිකරු ලෙස දැවී ගියේය.

ඉන්දීය ජයග්‍රහණයේ වීරයා වූ රෝහිත් යාදව් ලකුණු 49කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ තීරණාත්මක පන්දු යැවීම වාර්තා කළ අතර, චිගුරුපති වෙන්කට කඩුලු 3ක්, ප්‍රණව් රඝවේන්ද්‍ර, ජෙගනාදන් හෙම්චුදේෂන් සහ යශ්බර්ධන් චෞහාන් කඩුල්ල බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ සෙනුජ වේකුණගොඩ පන්දු 52කින් හතරේ පහර 9ක් සමඟ වේගවත් ලකුණු 64ක් රැස් කළ අතර, විමත් දින්සරද ලකුණු 64ක් රැස් කරමින් පිළිතුරු ඉනිම ශක්තිමත් කිරීමට උත්සාහ කළේය.

ඊට පෙර සිය දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 208දී ප්‍රකාශයට පත් කළ ඉන්දීය පිල වෙනුවෙන් ලක්ෂ්‍ය රයිචන්දානි නොදැවී ශතකයක් (100*) වාර්තා කළ අතර, මනාල් චෞහාන් නොදැවී ලකුණු 51ක් රැස් කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් කවිජ ගමගේ කඩුලු 2ක් සහ විග්නේෂ්වරන් ආකාශ් එක් කඩුල්ලක් දවා ගත්හ.

පළමු ඉනිමේදී ඉන්දීය පිල ලකුණු 411ක් රැස් කළ අතර, එහිදී මනාල් චෞහාන් ලකුණු 150ක්, කුෂාග්‍ර ඔජා ලකුණු 111ක් සහ නායක යශ්බර්ධන් චෞහාන් ලකුණු 78ක් රැස් කළහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ගිම්හාන් මෙන්ඩිස් කඩුලු 3ක්, සෙත්මික සෙනෙවිරත්න, දුල්නිත් සිගේරා සහ විග්නේෂ්වරන් ආකාශ් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 148කට සීමා වූ අතර, සෙත්මික සෙනෙවිරත්න නොදැවී ලකුණු 25ක් සහ දුල්නිත් සිගේරා ලකුණු 31ක් රැස් කළහ. ඉන්දියාව වෙනුවෙන් ප්‍රණව් රඝවේන්ද්‍ර, චිගුරුපති වෙන්කට, ජෙගනාදන් හෙම්චුදේෂන් සහ රෝහිත් යාදව් කඩුලු 2 බැගින් බෙදා ගත්හ.

මෙම ජයග්‍රහණයත් සමඟ තරග දෙකකින් සමන්විත යොවුන් ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත් වූ අතර, පළමු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබිණි.

තරගාවසානයේ පැවැති ජය සංඛේත ප්‍රධානයේදී පළමු තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් එම තරගයේ ලකුණු 233 ක් ලද සෙනුජ වෙකුණගොඩ ද දෙවැනි තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මනාල් චෞහාන් ද සම්මාන දිනාගත්හ. මෙම තරගාවලියට පෙර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් ජය ගැනීමට සමත්විය.

ඉන්දියාව වයස අවුරුදු 19න් පහළ – පළමු ඉනිම 411 (105.2)
මනාල් චෞහාන් 150, කුෂාග්‍ර ඔජා 111, යශ්බර්ධන් චෞහාන් 78, ගිම්හාන් මෙන්ඩිස් 102/3, සෙත්මික සෙනෙවිරත්න 90/2, දුල්නිත් සිගේරා 69/2, විග්නේෂ්වරන් ආකාශ් 50/2.

ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ – පළමු ඉනිම 148 (52.1)
දුල්නිත් සිගේරා 31, සෙත්මික සෙනෙවිරත්න නොදැවී 25, ප්‍රණව් රඝවේන්ද්‍ර 28/2, චිගුරුපති වෙන්කට 27/2, ජෙගනාදන් හෙම්චුදේෂන් 34/2, රෝහිත් යාදව් 14/2.

ඉන්දියාව වයස අවුරුදු 19න් පහළ – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 208 (40.2) (ඉනිම අත්හිටවූවේය)
ලක්ෂ්‍ය රයිචන්දානි නොදැවී 100, මනාල් චෞහාන් නොදැවී 51; කවිජ ගමගේ 2/42.

ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ – දෙවැනි ඉනිම 260 (76.5) (ඉලක්කය 472)
සෙනුජ වේකුණගොඩ 64, විමත් දින්සර 64, සෙත්මික සෙනෙවිරත්න 42, කවිජ ගමගේ 36; රෝහිත් යාදව් 49/4, චිගුරුපති වෙන්කට 27/2

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee