ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙසින් අද (14 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් නුවරඑළිය කිංග්ස්ට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරග වාරයේදී හම්බන්තොට කණ්ඩායමක් වාර්තා කරන ලද පළමු ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය.
ලකුණු 83 ක පහසු ඉලක්කයක් හඹා ගිය හම්බන්තොට කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා පෙරමුණ ගත්තේ කුසල් ජනිත් පෙරේරා විසිනි. පළමු කඩුල්ල ලෙස මොහොමඩ් ශේසාඩ් පළමු පන්දුවෙන්ම දැවී ගියද සිය පිතිහරඹයේ වෙනසක් සිදුනොකළ කුසල් ප්‍රතිවාදී පන්දු යවන්නන්ට දිගට හරහට පහර දුන්නේය. මෙහිදී ධණිෂ්ක ගුණතිලක විසින් යවන ලද පිට පිට පන්දු 2 කදී එල්ල කරන ලද රිවර් ස්වීප් පහර 2 න් එල්ල කරන ලද දැවැන්ත හයේ පහර 2 ද කුසල්ගේ ඉනිමට ඇතුළත් විය.
කුසල්ට අමතරව වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 10 කදී ලකුණු 20 ක් ලබා ගත්තේ තම ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ද ඇතුළත් කරමිනි. ලකුණු 33 ක් ලබා සිටියදී කුසල් දැවී ගියේ කසුන් රජිතගේ පන්දුවකට නිම්සර අතරගල්ල උඩ පන්දුවක් රැකීමෙනි. දැවී යන විටත් පන්දු 15 කට මුහුණ දී සිටි වමත් කසකරුවා ඊට හතරේ පහර 4 ක් ද ඇතුළත් කර තිබුණේය.
කෙසේ වෙතත් ෂෙවෝන් ඩැනියල් සහ සබීර් රෙහ්මාන් දෙදෙනා තරගය නිමා කරන විටත් ලකුණු පුවරුවේ පන්දු 17 ක් සහ කඩුලු 7 ක් ඉතිරිව තිබුණේය.
මෙවර තරගාවලියේ පන්දුවාර 10 ම ක්‍රීඩා කරන ලද තරගයකදී කණ්ඩායමක් රැස් කරන ලද අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් නුවරඑලිය කිංග්ස් කණ්ඩායම රැස් කරන ලද ලකුණු 82 සටහන් විය. ඔවුනට විශාල ලකුණු සංඛ්‍යාවකට යෑමට මං ඇහුරුණු ප්‍රධානම කරුණ වූයේ පළමු කඩුලු 4 ම ලකුණු 06 ක් ඇතුළත බිඳ වැටීමය. අවිශ්ක ප්‍රනාන්දු (01), කයිල් මේයර්ස් (01), උමර් අක්මාල් (00), සහ ධනිෂ්ක ගුණතිලක (00) එසේ අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගිය පිතිකරුවෝ වූහ.
රිචඩ් ග්ලේසන් යවන ලද දෙවැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවට අවිශ්ක ප්‍රනාන්දු දැවී ගිය අතර අනතුරුව යවන ලද පන්දුවේදී උමර් අක්මාල් දැවී ගියේ ඔහුට කඩුලු ත්‍රිත්වයක් ආසන්නයට අවස්ථාවක් නිර්මාණය කර දෙමිනි. කෙසේ වෙතත් අනතුරුව පිටියට පිවිසි ධනිෂ්ක ගුණතිලක කඩුලු ත්‍රිත්වය සඳහා එවන ලද පන්දුවෙන් ආරක්ෂාකාරී වීමට සමත් වුවත් ඊළඟ පන්දුවට පන්දු යවන්නාට පෙරළා උඩ පන්දුවක් දී ඔහු දැවී ගියේ නුවරඑළිය කිංග්ස් පිල දැඩි අසරණ භාවයකට පත් කරමිනි.
කෙසේ වෙතත් 5 වැනි කඩුල්ලට එක් වුණු නායක සෞරාබ් තිවාරි සහ බෙනී හොවෙල් පන්දු 28 කදී ලකුණු 54 ක් එක් කරමින් කණ්ඩායම වැටී තිබූ තත්ත්වයන් ඉදිරියට රැගෙන ගියහ. මෙහිදී තිවාරි ලකුණු 26 ක් සහ හොවෙල් ලකුණු 19 ක් ලබා ගත්හ. පන්දු යැවීමේදී ග්ලේසන් ලකුණු 23 කට කඩුලු 3 ක් දවා ගනිද්දී ඉසුරු උදාන, ධනංජය ලක්ෂාන් සහ තරිඳු රත්නායක කඩුල්ල බැගින් බිඳ හෙළූහ.
නුවරඑළිය කිංග්ස් පන්දුවාර 10 කදී කඩුලු 6 ට ලකුණු 82 යි – (සෞරාබ් තිවාරි 26, බෙනී හොවෙල් 29, චාමික කරුණාරත්න 11*, රිචඩ් ග්ලේසන් 23/3, ධනංජය ලක්ෂාන් 05/1, ඉසුරු උදාන 10/1, තරිඳු රත්නායක 08/1)
හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පන්දුවාර 7.1 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 86 යි – (කුසල් පෙරේරා 33, දසුන් ශානක 20, ෂෙවෝන් ඩැනියල් 17, සබීර් රෙහ්මාන් 11*, කයිල් මේයර්ස් 13/1 කසුන් රජිත 24/1, චාමික කරුණාරත්න 02/1)