slc
logo
Home   |    News
ජනවාරි 31, 2025
තෙවැනි දිනය පන්දුවාර 27 කට සීමා වෙයි

sinhala editor

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමෙන් වැළකී සිටීමේ සටනක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වර්ෂාවේ සහායද සහිතව තරගය වේලාසනම නතර කර දමන විට කඩුලු 5 ක් දැවී ලකුණු 136 ක් ලබා සිටියේය. වෝන් – මුරලිදරන් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේදී පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමෙන් වැළකී සිටීම සඳහා ලකුණු 455 ක ඉලක්කයක් කරා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් කඩුලු 5 ක් ඇතුළත ලකුණු 319 ක් ලබාගැනීමේ අභියෝගය ඉතිරිව තිබේ. .

පෙරවරු 11.45 වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වෙත ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් වේලාසනම දිවා භෝජනය ගැනීමට විනිසුරුවරුන් කටයුතු කළත් වර්ෂාවේ අඩුවක් නොවීම හේතුවෙන් තරගය යළිත් තෙවැනි දිනට ආරම්භ කිරීමට අවස්ථාවක් නොවීය. ඒ අනුව අද දිනය තරගයේ ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 27 ක් පමණි.

ඒ වන විටත් ශ්‍රී ලංකාවේ බර කරට ගෙන පන්දුවට පහර දෙමින් සිටි දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 63 ක් ද කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 10 ක්ද ලබා තරගයේ සිව්වැනි දිනය වෙන හෙට දිනයේදීත් පන්දුවට පහර දීමේ අභිලාෂයෙන් පසුවෙති. ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්ව සිටින චන්දිමාල් සිය 31 වැනි ටෙස්ට් අර්ධ ශතකය මුහුණ දුන් 91 වැනි පන්දුවේදී සම්පූර්ණ කර ගත්තේය.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6 කට ලකුණු 654 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ගොඩ නැංවිය. එම දැවැන්ත ලකුණු පුවරුව ගොඩනැංවුවා පමණක් නොව දෙවැනි දිනය අවසන් වන විට යවන ලද පන්දුවාර 15 දී ශ්‍රී ලංකා පිලේ ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනාවම දවා ගනිමින් ශ්‍රී ලංකාවට දැනෙන බලපෑමක් කිරීමට ඔස්ට්‍රේලියානුවෝ සමත්වූහ. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම, ඔස්ට්‍රේලියානු පළමු ඉනිම අභිබවා යෑම සඳහා ලකුණු 518 ක් ලබා ගත යුතුව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ බලාපොරොත්තුවක් බවට පත්ව සිටින කමිදු මෙන්ඩිස් අද දිනයේදී දැවී ගිය පළමු ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්විය. මිචෙල් ස්ටාර්ක්ගේ පන්දුවකට ග්ලාන්ස් කිරීමකට ගත් උත්සාහයේදී එය කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරී විසින් උඩ පන්දුවක් ලෙස රැක ගැනීම නිසා කමිඳුගේ ඉනිම ලකුණු 15 කදී හමාර විය.

අනතුරුව චන්දිමාල්ට එක්වූ නායක ධනංජය ද සිල්වා සෙමෙන් සෙමෙන් ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමට ගත් උත්සාහයේදී ඊට මැතිව් කුනේමන් හරස් වූවේය. 05 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40 ක සම්බන්ධතාවත් ගොඩනගමින් තිබියදී සීමා ඉරෙන් ඉදිරියට පැණ පහරක් එල්ල කිරීමට ගත් උත්සාහයේදී එය ස්ටම්ප් කිරීමක් බවට පත්වීම හේතුවෙන් ධනංජයගේ ඉනිම ලකුණු 22 කදී නිමාවට පත්විය.

වරින් වරම ක්‍රීඩාංගණයට වැස්සෙන් බාධා ඇතිවීම නිසා සමස්ථ දිනයේදී පැය දෙකහමාරකට අධික කාලයක් ඉතිරිව තිබියදී තරගය එදිනට අත හැර දැමීමට විනිසුරුවෝ කටයුතු කළහ.

හෙට තරගයේ සිව්වැනි දිනයයි.

ඔස්ට්‍රේලියාව පළමු ඉනිම පන්දුවාර 154 කදී කඩුලු 6 කට ලකුණු 654 යි – (උස්මාන් කවාජා 232, ස්ටීවන් ස්මිත් 141, ජොෂ් ඉංග්ලිෂ් 102, ඇලෙක්ස් කේරි 46*, බියූ වෙබ්ස්ටර් 23, මිචෙල් ස්ටාර්ක් 19*, මානස් ලබුෂේන් 20, ට්‍රෙවිස් හෙඩ් 57, ජෙෆ්රි වැන්ඩර්සි 182/3 , ප්‍රභාත් ජයසූරිය 182/3)

ශ්‍රී ලංකාව පන්දුවාර 42 කදී කඩුලු 5 කට ලකුණු 136 යි – (කමිදු මෙන්ඩිස් 15, ඇන්ජලෝ මැතිව්ස් 07, දිනේෂ් චන්දිමාල් 63, ඕෂධ ප්‍රනාන්දු 07, දිමුත් කරුණාරත්න 07, කුසල් මෙන්ඩිස් 10*, ධනංජය ද සිල්වා 22, මිචෙල් ස්ටාර්ක් 13/2 මැතිව් කුනේමන් 48/2 නේතන් ලයන් 43/1)

Active filters

Recent Posts

  • වෝන් – මුරලි කුසලානය ඔස්ට්‍රේලියාව රැගෙන යයි
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක ජයක් හිමි කර ගත්තේය. දෙරට අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් […]
  • ළහිරු උදාරගෙන් ද්විත්ව ශතකයක්
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මොරටුවේ පැවැත්වෙන එන්.සී.සී. – මුවර්ස් තරගයේ දී එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 214කට මුහුණ […]
  • ශ්‍රී ලංකා පිල ලකුණු 54ක් ඉදිරියෙන්
    ‍සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටී. […]
  • බදුරලිය – කුරුණෑගල යූත් ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262කට දවාලු කුරුණෑගල […]
  • ඔස්ට්‍රේලියාව ලකුණු 73කින් ඉදිරියට
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 257ට පිළිතුරු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee