මෙරට ක්‍රීඩා සමාජ අතර ප්‍රධානතම තැනක් ගනු ලබන ක්‍රීඩා සමාජයක් වන පානදුර ක්‍රීඩා සමාජයේ ශත සංවත්සරික උත්සවය ඉකුත්දා එම ක්‍රීඩා සමාජ පරිශ්‍රෙයේදී උත්කර්ෂවත් අන්දමින් සිදුවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන සභාපති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වන ශම්මි සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් එම උත්සවය පැවැත්විණ.
ශ්‍රී ලාංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් ගණනාවක් බිහි කිරීමට මේ ගෙවි ගිය වසර 100 ක කාලයේදී පානදුර ක්‍රීඩා සමාජයට හැකිවිය. වර්ෂ 1924 දී ප්‍රථමයෙන්ම ආරම්භ කර ඇති පානදුර ක්‍රීඩා සමාජය, මෙරට වසර 100 කට වඩා පැරණි ක්‍රීඩා සමාජ අතලොස්සට එකතුව සිටින ක්‍රීඩා සමාජයක් වේ.
මෙම ශත සංවත්සරික උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදමින් ඉදිකරන ලද නව විදුලි සෝපානය සහ තවත් ඉදිකිරීම් කීපයක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ අතින් විවෘත කොට ක්‍රීඩා සමාජය වෙත භාරදීම එදිනදී සිදුකෙරිණ.
මෙම උත්සවය අතරතුරදී ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් සිදුකරන ලද ප්‍රකට පරිපාලකයකු වූ නීල් පෙරේරා මහතාගේ අභාවය වෙනුවෙන් ඔහු වෙනුවෙන් මිනිත්තුවක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමටද පියවර ගනු ලැබීය. පානදුර ක්‍රීඩා සමාජය නියෝජනය කරන ලද ක්‍රීඩකයකු වූ නීල් පෙරේරා මහතා අනතුරුව එම ක්‍රීඩා සමාජයේ විවිධ නිලතල හොබවා තිබේ. හිටපු සභාපතිවරයකු ලෙසින්ද කටයුතු කළ ඇති ඒ මහතා මිය යන තෙක්ම එහි අනුශාසකවරයෙක් ලෙසින් කටයුතු කමින් සිටියේය.
මෙම ශත සංවත්සරික උත්සවයට සමගාමීව පානදුර ක්‍රීඩාසමාජයේ වෙබ් අඩෙවියද (www.psc.lk) යළි සමාජගත කිරීමද ශම්මි සිල්වා සහ පානදුර ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ලබන ජයන්ත සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය සිදුකරනු ලබන සේවාව වෙනුවෙන් ශම්මි සිල්වා මහතා වෙත සමරු ඵලයක් පිරිනැමීමද මෙහිදී සිදුවිය. මෙය පානදුර ක්‍රීඩා සමාජයේ සභාපති ජයන්ත සිල්වා මහතා අතින් ලබාදෙන ලදී.
මිට අමතරව පානදුර ක්‍රීඩා සමාජයේ උන්නතිය වෙනුවෙන් වසර 9 ක් තිස්සේම සභාපතිවරයා ලෙසින් කටයුතු කරමින් සිටින ජයන්ත සිල්වා මහතා සිදුකරනු ලබන මෙහෙය අගය කරමින් ඔහුටද සමරු ඵලයක් පිරිනැමීම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා අතින් සිදුවිය.
මීට අමතරව මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහභාගිව සිටි උප සභාපතිවරුන් වන ආචාර්ය ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න, වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, මෙන්ම පානදුර ක්‍රීඪා සමාජයේ ලේකම් සමන් කුමාර, මෙන්ම එම ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරයකු වූ මහින්ද සෙනෙවිරත්න මහත්වරුන්ටද මෙහිදී සමරු ඵල පිරිනැමීම කැපී පෙනිණ.