සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල සමග අනිද්දා (6) ආරම්භවන දෙවැනි ටෙස්ට් තරගය දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගය වේ. වසර 2012 නොවැම්බර් 17 වැනිදා සිය මුල්ම ටෙස්ට් තරගයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට අවතීර්ණ වූ ඔහු, තම සියවැනි ටෙස්ට් තරගයට එම ක්‍රීඩාංගණයට පිවිසීම අතිශය දුර්ලභ සිද්ධියකි. මංගල ටෙස්ට් තරගය හා ක්‍රිකට් දිවියේ සියවැනි ටෙස්ට් තරගය යන දෙකම එකම ක්‍රීඩාංගණයක ක්‍රීඩා කළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනා අතර දිමුත්ගේ නාමය සටහන් වේ.
ඒ ආකාරයෙන්ම මෙයට පෙර පළමු හා 100 වැනි ටෙස්ට් තරගයට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇන්ජලෝ මැතිව්ස් එක්වී උපහාරයෙන් පිදුම් ලැබුවේය.
දිමුත් තම 100 වැනි ටෙස්ට් තරගයට සහභාගීවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ සමරු සිහිවටනයක් හා තිළිණ ප්‍රදානයක් කිරීමට කටයුතු සැලසුම් කොට ඇත. මෙම සියවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නැරැඹීම උදෙසා දිමුත්ගේ ආරාධනාවෙන් පැමිණෙන ඔහුගේ පවුලේ ඥාතීන් හා හිතවතුන් ඇතුලු ආරාධිතයන් විශාල ප්‍රමාණයකට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ
ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ විශේෂ ඉඩකඩක් ලබාදීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ කිරීමට පෙර දිමුත් වෙනුවෙන් විශේෂ සමරු උත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ 7 වැනි ක්‍රීඩකයා ලෙස දිමුත් කරුණාරත්නගේ නම සටහන් වන අතර, ඔහු ආරම්භක පිතිකරණයේ බල කණුවක් බවට පත් වූවේය. දිමුත් ටෙස්ට් තරග 99කදී ලකුණු 7172ක් ලබා ඇති අතර, මේ වනවිට සනත් ජයසූරියට (ලකුණු 6973) වඩා ඉදිරියෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් අතර සිව්වැනි ස්ථානයේ පසුවේ.
1988 අප්‍රේල් 21දා උපත ලද 36 හැවිරිදි දිමුත් කරුණාරත්න කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයෙන් ක්‍රීඩා පිටියට අවතීර්ණවී සාන්තුවරයින්‍ගේ සටනේදී ශතකයක් රැස් කළේය. ඔහු ටෙස්ට් තරග 99කට එක්වී ටෙස්ට් ඉනිම් – 189කට ක්‍රීඩා කළ අතර, නොදැවීම් 7ක් වාර්තා කළේය. බංග්ලාදේශයට එරෙහිව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඔහු ලබාගත් ලකුණු 244
ටෙස්ට් තරගයක වැඩිම ලකුණු ගණන වේ. එහි සාමාන්‍ය 39.40ක් වන අතර, වසර 13ක කාලය තුලදී ටෙස්ට් පිටියේ මුහුණදුන් පන්දු ගණන 13913කි.
ඔහුගේ වර්ණවත් ටෙස්ට් ක්‍රිකට් දිවියේ ශතක 16ක් හා අර්ධ ශතක 39ක් ඇතුලත් වූ අතර, බිංදුවට දැවීම් 13ක් ද සටහන්වී තිබේ. දිමුත්‍ගේ පිත්තෙන් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ හතරේ පහර 760ක් හා හයේ පහර 12ක් අන්තර්ගත වේ. දිමුත්ගේ ටෙස්ට් ශතක 16න් 6ක්ම ගාල්ල් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී වාර්තා කර ඇති අතර, පල්ලේකැලේදී ද්විත්ව ශකයක් හා ශතක 2ක් රැස් කළේය. ඔහු බොහෝවිට ‘ස්ලිප්‘ ක්‍රීඩකයෙකු ලෙස පන්දු රැකීමට ප්‍රියතාවක් දැක්වූ අතර, ටෙස්ට් පිටියේ උඩ පන්දු 62ක් රැක ගැනීමට ද සමත් විය.
ටෙස්ට් තරග 100කට වැඩියෙන් ක්‍රීඩා කළ සනත් ජයසූරිය (ටෙස්ට් තරග 110), චමින්ද වාස් (ටෙස්ට් තරග 111), මුත්තයියා මුරලිදරන් (ටෙස්ට් තරග 132), කුමාර් සංගක්කාර (ටෙස්ට් තරග 134), මහේල ජයවර්ධන (ටෙස්ට් තරග 149), ඇන්ජලෝ මැතිව්ස් (ටෙස්ට් තරග 117) යන ක්‍රීඩකයින් අතරට දිමුත්ගේ නමද ඉතිහාසයට එක්ව තිබේ.
දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වය දරණ කාලයේදී විශාලතම ගෞරවය හිමි වන වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වීමද අමතක නොවේ. එමෙන්ම මෑතකදී ප්‍රකාශයට පත් කළ අයිසීසී ටෙස්ට් කණ්ඩායමට දිමුත් ඇතුලත් වූ අතර, එය අයිසීසී ටෙස්ට් කණ්ඩායමට ඔහු නම් වූ තුන්වන අවස්ථාවවීම කැපී පෙනේ. මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාරට පසුව, තුන් වතාවක් හෝ ඊට වැඩි වාර ගණනක් අයිසීසී ලෝක ටෙස්ට් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ තුන්වන ශ්‍රී ලාංකිකයා දිමුත් කරුණාරත්න වේ.
2019 වසරේ පෙබරවාරි මාසයේ පැවැති දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය භාරගත් දිමුත් කරුණාරත්න, ටෙස්ට් තරග 29කට නායකත්වය ලබාදී, ඉන් තරග 12ක් ජයග්‍රහණය කරා මෙහෙයවා නායකත්වයෙන් ඉවත්වීමට තරම් නිහතමානි විය.