slc
logo
Home   |    News
පෙබරවාරි 28, 2025
පාසල් ක්‍රිකට් තරග වෙනුවෙන් විතරක් වසරකට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලක්ෂ 500 ක්

sinhala editor

පාසල් මට්ටමෙන් දක්ෂතා දක්වන ක්‍රිකට් ක්‍රීඩකයන් අධ්‍යාපන කටයුතු නිම කර පාසලෙන් සමු ගැනීමට පෙරම ඔවුන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියන්ට මුහුණ දීමට හුරු කරවීමේ අරමුණින් තුන් දින ක්‍රිකට් තරග පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයට හඳුන්වා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පාසල් ක්‍රිකට් සංගමය ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

 මේ ව්‍යාපෘතියේ මූලික පියවර ලෙස දැනට තරග තුනකට (කණ්ඩායම් හයකට) පමණක් සීමා වී ඇති පාසල් තුන් දින මහා ක්‍රිකට් තරග ඉදිරියේ දී පාසල් 56ක සහභාගිත්වයෙන් තුන් දින පාසල් මහා ක්‍රිකට් තරග 28ක් ලෙසට දිවයින පුරා සංවිධානය වේ.

 දින දෙකකට සීමා වූ ක්‍රිකට් තරග තෙවන දිනය දක්වා දීර්ඝ කිරීමේ දී වැය වන පිරිවැයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රහය දැක්වීමට ද තීරණයකට එළැඹ තිබේ.

 පාසල් ක්‍රිකට් තරග දින තුන දක්වා දීර්ඝ කිරීමෙන් පාසල් ක්‍රීඩකයනට පාසල් සමයේදීම ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ දිගු කාලීන තරගවලට හුරුවීමට අවස්ථාවක් උදා වන අතරම තවත් වාසි ගණනාවක්ම මෙමගින් මෙම යෞවන ක්‍රීඩකයනට හිමි වේ. එම කරුණු අතර දීර්ඝ කාලීන ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අඩු වයසේදීම පළපුරුද්දක් හා විවිධ අත්දැකීම් හිමි කර ගැනීමට අවස්ථාව උදා වීම, පිතිකරුවනට සහ පන්දු යවන්නන්ට තම කාර්යයන් ප්‍රතිඵලදායී ලෙස ලබා ගැනීමට කාලය ලැබීම, දැඩි අවධානයකින් ක්‍රීඩාව සඳහාම අවතීර්ණ වීමට ඉඩ ලැබීම යනාදිය ඇතුළත්ය.

 මෙහි වඩාත්ම වැදගත් කරුණක් වනුයේ පාසල් ක්‍රිකට් තරගයක උද්වේගකාරී සහ තියුණු අවස්ථාවන්හි තීරණ ගැනීමට සිදු වීමේ දී මේ වන විට බොහෝ සෙයින් අනුගමනය කරන පුහුණුකරුගේ හෝ මව්පියන්ගේ මැදිහත්වීමේ තීරණ බැවින් මෙමගින් එය නතර කර නායකයා ඇතුළු කණ්ඩායමට තීරණ ගැනීමට කාලවේලාව සහ අවස්ථාව මෙයින් උදාකර දීමය.

 තෙදින පාසල් මහා ක්‍රිකට් තරග 28ක් මගින් මේ වැඩසටහන හඳුන්වාදීමේ පුරෝගාමිත්වය සහ අනුග්‍රාහකත්වය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා ඇතුළු විධායක මණ්ඩලය නොබෝදා තීරණයකට එළැඹිණි.

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට දිවයිනේ පාසල් ක්‍රිකට් සංවර්ධනයට වාර්ෂිකව රුපියල් මිලියන 400 – 500ක් වැය කරන අතර පාසල් 56ක මහා ක්‍රිකට් තරග සංවිධානය වෙනුවෙන් තවත් අමතර මිලියන 125ක් පමණ වැය වේ. මීට අමතරවබාලිකා මහා ක්‍රිකට් තරගයක සංවිධාන කටයුතු සඳහා ද රුපියල් ලක්ෂ පහ බැගින් පිරිනැමීමට ද තීරණය කර තිබේ.

 මේ පිළිබඳ මාධ්‍ය හමුවක් අද (26) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැති අතර එම අවස්ථාවට පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාසල් ක්‍රිකට් උප සභාපති තිලක් වත්තුහේවා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා, ක්‍රිකට් ආයතනයේ ජාතික මෙහෙයුම් සහ දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න මහතා සහ ක්‍රිකට් ආයතනයේ අධි තාක්ෂණ කේන්ද්‍රයේ කළමනාකරු රුවන් කල්පගේ යන මහත්වරු සහභාගි වුහ.

 මෙහි දී අදහස් දැක් වු පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා මහතා දිවයින පුරා පාසල් බාලක අවුරුදු 13න් පහළ 15න් පහළ 17න් පහළ සහ 19න් පහළ සහ බාලිකා අවුරුදු 19න් පහළ කණ්ඩායම් වසරකට දිවයින පුරා තරග 6800කට සහභාගි වන බවත් මොවුනගේ ක්‍රීඩා කුසලතා සංවර්ධනය වෙනුවෙන් ක්‍රිකට් ආයතනය පාසල් ක්‍රිකට් සංගමය විශාල කාර්යභාරයක් ඉටු කරන බවත් ප්‍රකාශ කළේය.

 මෙමගින් නායක පුහුණුව, ජය පැරැදුමට හොඳින් මුහුණ දීමට හුරුවීම, විනය ගරුක යෞවන යෞවනියන් ලෙස සමාජයට එක්වීම, දීර්ඝ කාලීනව ක්‍රීඩාවට එක්වීමට පුහුණුව ලැබීම සහ නිවැරැදි තීරණ ගැනීමට එළැඹීම ඇතුළු කරුණු රැසක්ම අධ්‍යනය කිරීමට අවස්ථාව උදා වන බව ද ඔහු කීවේය.

 ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා අදහස් දක්වමින් මේ වසරේ පැවැත්වෙන මීළඟ අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට සූදානම් වන ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට පෙරහුරු තරග ලෙස විදේශයන්හි තරගාවලි තුනකට සහභාගි කරවන බවත් ඊට අමතරව මෙහි දී ක්‍රමවත් පුහුණු වැඩසටහන් මාලාවක් සකස් කර ඇති බවත් ප්‍රකාශ කළේය.

 පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ක්‍රිකට් ආයතනය වසරකට රුපියල් මිලියන 400 – 500ක් ද අලුතින් හඳුන්වා දුන් තෙදින මහා ක්‍රිකට් තරග වෙනුවෙන් තවත් රුපියල් මිලියන 125ක් ද වෙන්කර ඇතැයි පැවසු ඒ මහතා ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම ක්‍රමවත් පුහුණුව, ඇතුළු යටිතල පහසුකම් වෙනුවෙන් මෙය වැය කරන බව ද කීවේය.

 අතීතයේ දී මෙරටින් බිහි වු දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් වන සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, චමින්ද වාස්, ලසිත් මාලිංග සහ මුත්තයියා මුරලිදරන් වැනි ජාත්‍යන්තරය පවා මවිත කළ ක්‍රීඩකයන් බිහි කිරීම අපගේ පරමාර්ථය බව ද ඔහු කීවේය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee