ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානයෙන් මාස දෙකක් පුරා පැවැති මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නිපුන් කරුණානායකගේ නායකත්වයෙන් යුතු බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදී. ඒ අනුව බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය මේජර් ලීග් ශූරතාවක් දිනා ගන්නා ලද්දේ වසර 14 කට පසුව වීම විශේෂත්වයක් වේ.
2024 -25 වසරේ මේජර් ලීග් අන්තර් සමාජ තෙදින සූරතාව බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමට මෙවර හිමි වුයේ අවසාන තරගයේ ප්‍රථම ඉනිමේ දී තම ප්‍රතිවාදීන් වු එන්.සී.සී.ට වඩා ලකුණු 196ක් ඉදිරියෙන් පසුවීමෙනි. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය ශූරතාව දිනා ගන්නා ලද 10 වැනි අවස්ථාව වශයෙන් මෙවර ශූරතාව සනිටුහන් විය. මීට පෙර 1963-64, 1980-83, 1981-83, 1994-96, 1996-97, 1998-99, 2004-04 සහ 2010-11 යන වසර වලදී අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සමත්විය.
දෙවන ඉනිම සඳහා අද (08) පන්දුවට පහර දුන් බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම සවස 3.50ට තරගය නතර කරන විට කඩුලු හතරකට ලකුණු 242ක් (පන්දුවාර 78යි) ලබා සිටියේය. මේ අවසාන මහා තරගය මාලිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
බ්ලුම්ෆීල්ඩ් ප්‍රථම ඉනිමේ දී ලකුණු 96ක් ලබා සිටිය දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීමට හසුව දැවී ගිය අසිත වන්නිනායක දෙවැනි ඉනිමේ දී එවැනි කිසිදු වරදක් වීමට ඉඩ නොතබමින් නොදැවී ලකුණු 104ක් රැස් කළේ පන්දු 242ක දී හතරේ පහර 12ක් ද එල්ල කරමිනි.
අසිත වන්නිනායක සිය නායකයා නිපුන් කරුණානායක සමග පස්වන කඩුල්ලට නොදැවී ලකුණු 148ක සබඳතාවයක් තබා ගත්තේ පන්දුවාර 44ක් තුළ දීය. නිපුන් කරුණානායක මෙදින නොදැවී ලකුණු 75ක් රැස් කළේ පන්දු 121කට මුහුණ දී හතරේ පහර හයක් සහ හයේ පහර දෙකක් සමගය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ රවිඳු ප්‍රනාන්දුත් (කඩුලු 49යි ලකුණු 411යි) අවසාන මහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ රොන් චන්ද්‍රගුප්තත් සම්මාන ලබද්දී තරගාවලියේ දක්ෂම පිතිකරු ලෙස කැන්ඩි කස්ටම් කණ්ඩායමේ සහන් කෝසලත් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස පොලීස් ක්‍රීඩා සමාජයේ දිලුම් සුධීරත් සම්මාන ලැබීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලි අධ්‍යක්ෂ සහ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩංවල මහතා අතින් ත්‍යාග ප්‍රදානය සිදු කැරිණි.
බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට අද (08) උදෑසන පැමිණි අවස්ථාවේ සිට දිවා ආහාරය තෙක් පැය දෙකක කාලය තුළ කඩුලු තුනක් දැවී ලකුණු 73ක් රැස් කළේය. මේ වන විට ඔවුන් එන්.සී.සී. ප්‍රථම ඉනිමට වඩා ලකුණු 269ක් ඉදිරියෙන් සිටියේ තවත් කඩුලු හතක් ද ඉතිරිව තිබියදීය.
දෙවන ඉනිමේ දී බ්ලුම්ෆීල්ඩ් ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත වෙනුවට සහන් නානායක්කාර ආරම්භක පිතිකරුගේ ස්ථානයට එවා රොන් චන්ද්‍රගුප්ත අංක තුන පිතිකරුගේ ස්ථානය කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ වෙනස් කමක් සිදු කැරිණි.
ආරම්භක පිතිකරුවන් දෙදෙනා සහ අංක තුන පිතිකරු මුළු ලකුණු 9, 15, සහ 41 සංඛ්‍යාවන්හි උදෑසන දැවී ගියත් ඔවුන් ප්‍රථම ඉනිමේ ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවකින් ඉදිරියෙන් සිටි හෙයින් පසුව ආරක්ෂාකාරී පිළිවෙතකින් පන්දුවට පහර දුන්හ.
උදෑසන පළමු කඩුල්ල මුළු ලකුණු නවයේ දී (පන්දුවාර 3.3) දැවී ගියේ චාමික කරුණාරත්නගේ පන්දුවකට සහන් නානායක්කාර විසින් සහන් ආරච්චිට උඩපන්දුවක් දීමෙන් ලකුණු හයකටය. දෙවන කඩුල්ල මුළු ලකුණු 15දී බිඳ වැටුණේ (පන්දුවාර 5.1ක දී) අංක තුන පිතිකරු රොන් චන්ද්‍රගුප්ත දඟපන්දු යවන අෂේන් ඩැනියල්ගේ පන්දුවකට ළහිරු උදාරට උඩපන්දුවක් දී ලකුණු හතරකටය. තුන්වන කඩුල්ල ලෙස අනෙක් ආරම්භක පිතිකරු හසිත බෝයගොඩ වේගපන්දු යවන චාමික කරුණාරත්නගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව මුළු ලකුණු 41දී දැවී ගියේ ලකුණු 14කටය. (පන්දු 31යි)
දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට අසිත වන්නිනායක නොදැවී ලකුණු 29ක් ද (පන්දු 76යි හතරේ තුනයි) කසුන් අබේරත්න නොදැවී ලකුණු 17ක් ද (පන්දු 35යි හතරේ දෙකයි) ලබා සිටියහ.
දිවා ආහාරයෙන් පසු හත්වන පන්දුවාරය යැවු අෂේන් ඩැනියල්ගේ පන්දුවකට නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් දී අංක පහ පිතිකරු කසුන් අබේරත්න ලකුණු 31කට දැවී ගියේ මුළු ලකුණු 94 දී සිව්වන කඩුල්ල ලෙසිනි. (පන්දුවාර 34යි) කසුන් පන්දු 54කට මුහුණ දී හතරේ පහර හතරක් ද එල්ල කළේය.
සවස තේ පානය වන විට බ්ලුම්ෆීල්ඩ් කඩුලු 4කට ලකුණු 181 (පන්දුවාර 64) ලබා සිටියේය. මේ වන විට හතරේ අසිත වන්නිනායක නොදැවී 82ක් ද (පන්දු 183 හතරේ 11යි) නායක නිපුන් කරුණානායක නොදැවී ලකුණු 39ක් ද (පන්දු 86යි හතරේ දෙකයි හයේ පහරයි) ලබා කඩුල්ලේ රැඳී සිටියහ.
තරගය සවස 3.50ට නිමාවට පත්වන තෙක් මේ පිතිකරුවන් දෙදෙනාම නොදැවී කඩුල්ලේ රැඳෙමින් නොදැවී ලකුණු 61ක් රැස් කළේ පන්දුවාර 14ක් තුළය.
ලකුණු පුවරුව
බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම සියල්ල දැවී 508යි (පන්දුවාර 174යි) – රොන් චන්ද්‍රගුප්ත 237, අසිත වන්නිනායක 96, ළහිරු මධුශංක 55, හසිත බෝයගොඩ 52, නිපුන් කරුණානායක 37, ළහිරු කුමාර 87/6, අෂේන් ඩැනියල් 93/2, අසේල් සිගේරා 117/1)
එන්.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 312යි – (ළහිරු උදාර 145, කමිල් මිෂාර 40, කවීන් බණ්ඩාර 36, පැතුම් නිශ්ශංක 29, චාමික කරුණාරත්න 17, අෂේන් ඩැනියල් නොදැවී 16, ජෙෆ්රි වැන්ඩසේ 64/4, රවිඳු ප්‍රනාන්දු 84/3, ඉසිත විජේසුන්දර 28/1)
බ්ලුම්ෆීල්ඩ් දෙවන ඉනිම තරගය නතර කරන විටකඩුලු 4ට 242 (පන්දුවාර 78) – අසිත වන්නිනායක නොදැවී 114, නිපුන් කරුණානායක නොදැවී 75, කසුන් අබේරත්න 31, චාමික කරුණාරත්න 18/2, අෂේන් ඩැනියල් 42/2යි)