slc
logo
Home   |    News
මාර්තු 8, 2025
නවසීලන්ත කාන්තා පිල එක්දින තරගාවලියේ පෙරට එයි

sinhala editor

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙසින් පෙරමුණ ගැනීමට සත්කාරක ක්‍රීඩිකාවෝ අද (7) සමත් වූහ. සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද නිමා වූ තරගයේ දී නවසීලන්ත ක්‍රීඩිකාවෝ ලකුණු 78ක ජයග්‍රහණයක් ලබා ගත්හ.

පළමු එක්දින තරගය වර්ෂාව ඇඳහැලී විසඳුමකින් තොරව නිමාවට පත්වූ හෙයින් තව එක් තරගයක් ඉතිරිව ඇත.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 245ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සියලු දෙනා ලකුණු 167කට දැවී ගියහ.

විශ්මි ගුණරත්න සහ චමරි අතපත්තු යන දෙදෙනාටම හොද ආරම්භයක් ලබාදීමට නොහැකි වූ අතර, පළමු කඩුලු දෙක ලකුණු 31දී දැවී ගියහ. නායිකා චමරි අතපත්තු ලකුණු 11කට සහ විශ්මි ගුණරත්න ලකුණු 8කට දැවී යෑමෙන් පසු පිටියට පිවිසි හර්ෂිතා සමරවික්‍රම තෙවැනි කඩුල්ලට කවීෂා දිල්හාරි සමඟ එක්වී ලකුණු 68ක සබඳතාවක් එක් කළාය. දිල්හාරි පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබාගත් අතර, මෙම තරගාවලියේ පිට පිට ලබා ගත් දෙවැනි අර්ධ ශතකයත් වාර්තා කළ හර්ෂිතා සමරවික්‍රම පන්දු 77කදී හතරේ පහර 4ක් සමඟ ලකුණු 59ක් ලබා ගත්තාය.

නිලක්ෂිකා සිල්වා පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟ ලකුණු 20ක් හා අනුෂ්කා සංජීවනී පන්දු 19කදී හතරේ පහරක් සමඟ ලකුණු 13ක් ලබා ගත්තාය.

නවසීලන්ත මුල් පෙළේ පිතිකාරියන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් පළමු කඩුලු 4 ලකුණු 59ක් තුළ දවා ගත්තද, අංක 5පිතිකාරිණිය මැඩී ග්‍රීන් පන්දු 109කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 100ක් වාර්තා කළාය. පසුපෙළින් පැමිණි ජෙස් කර්ර් ලකුණු 38ක් හා පොලී ඉංග්ලිෂ් ඉක්මන් ලකුණු 34ක් නොදැවී ලබා ගැනීමෙන් ලකුණු පුවරුව ඉහළ ගියේය.

මේ 9 වැනිදා තෙවැනි අවසන් එක්දින තරගය අද තරගය පැවැති ‍නෙල්සන් හි සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 245 (ඕවර් 50)
ජෝජියා පිලිමර් 28, මැඩී ග්‍රීන් 100, ජෙස් කර්ර් 38, ‍පොලී ඉංග්ලිෂ් නොදැවී 34 (චමරි අතපත්තු 42/2, අචිනි කුලසූරිය 46/1, ඉනොෂ් ප්‍රියදර්ශනී 43/1, කවීෂා දිල්හාරි 44/1)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 167 (ඕවර් 46.4) හර්ෂිතා සමරවික්‍රම 59, කවීෂා දිල්හාරි 25, නිලක්ෂිකා සිල්වා 20, ( බ්‍රී ඉලින්ග් 45/2, හැනා රෝ 31/4, ඉඩින් කාර්සන් 30/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee