ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වු අන්තර් සමාජ මේජර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අද (02) නිමාවට පත් වු අතර ‘ඒ ‘ කොටසේ ප්‍රථම ස්ථානයට පත් වු බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමත් ‘බී‘ කොටසේ පළමු තැනට පත් වු එන්.සී.සී. කණ්ඩායමත් මේ තරගාවලියේ අවසාන තරගයට සුදුසුකම් ලැබීය. මෙහි අවසාන මහා තරගය බ්ලුම්ෆීල්ඩ් සහ එන්.සී.සී. කණ්ඩායම් අතර මේ මස 05 සිට 08 දක්වා මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී සිව් දින තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.
මේජර් ලීග් තෙදින තරගාවලියේ ‘ඒ‘ කොටසේ ප්‍රථම ස්ථානයට පැමිණි බ්ලුම්ෆීල්ඩ් තරග අටකට සහභාගි වී ඉන් තරග හතරක් ජය ගෙන හතරක් ජය පැරැදුමින් තොරව කෙළවර කර ලකුණු 104.76ක් ලබා සිටී. ‘බී‘ කොටසේ ප්‍රථම ස්ථානයට පැමිණ සිටින එන්.සී.සී. තරග අටකට සහභාගි වී ඉන් තරග තුනක් ජයගෙන තරග පහක් ජය පැරැදුමින් තොරව කෙළවර කර ලකුණු 114.98ක් ලබා ගත්තේය.
මේ සති අන්තයේ (පෙබරවාරි 28, මාර්තු 01 සහ 02 දිනවල) පැවැති තරග හතර අතුරින් ‘ඒ ‘ කොටසේ පැවැති බ්ලුම්ෆීල්ඩ් – බදුරලිය තරගයේ පමණක් විසඳුමක් ලැබුණේ බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 47කින් බදුරලිය පරාජයට පත් කිරීමෙනි.
බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ රොන් චන්ද්‍රගුප්ත (119) සහ රවිඳු ප්‍රනාන්දු (නොදැවී 114) ශතකත් අසිත වන්නිනායක (63) සහ නායක නිපුන් කරුණානායක (නොදැවී 51යි) ලකුණු රැස් කිරීමේ දී ද ළහිරු මධුශංක (38/4) ඉසිත විජේසූරිය (8/3) සහ රවිඳු ප්‍රනාන්දු (31/3) පන්දු යැවීමේ දී ප්‍රථම ඉනිමේත් ජෙෆ්රි වැන්ඩසේ (66/6යි) පන්දු යැවීමේ දී දෙවන ඉනිමේදීත් දක්ෂතා දැක් වුහ.
සති අන්තයේ තරග සියල්ලටම පාහේ අයහපත් කාලගුණයෙන් බාධා ඇති විණි.
- බ්ලුම්ෆීල්ඩ් – බදුරලිය (බ්ලුම්ෆීල්ඩ් ඉනිමකින් ලකුණු 47කින් ජය ගනී)
බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ ඉනිමක පරාජයෙන් බේරීමට බදුරලියට දෙවන ඉනිමේ දී ලකුණු 278ක් අවශ්‍ය වුවත් බදුරලිය කණ්ඩායම සියලු ක්‍රීඩකයන් දැවී දෙවන ඉනිමේ දී රැස් කළේ ලකුණු 231ක් පමණකි.
බදුරලිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන අවස්ථාවේ ප්‍රබල පන්දු යැවීමක නිරත වු බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ ජෙෆ්රි වැන්ඩසේ පන්දුවාර 11.4ක් යවා ලකුණු 66කට කඩුලු හයක් දවාලීය. ප්‍රථම ඉනිමේ දී ලකුණු 31කට කඩුලු තුනක් දවාලු ජෙෆ්රි වැන්ඩසේ සම්පූර්ණ තරගයේ දී කඩුලු 9ක් දවාලුවේය.
දෙවන ඉනිමේ දී දක්ෂතා අතරට පැමිණි බදුරලිය පිතිකරුවන් වුයේ අංක හතර පිතිකරු ගිහින් කෝරලගේ පන්දු 87ක දී හතරේ හතක් හයේ දෙකක් සමග නොදැවී ලකුණු 69ක් ද අංක හය පිතිකරු ගීත් කුමාර පන්දු 79ක දී හතරේ හතරක් සහ හයේ පහරක් සමග ලකුණු 49ක් ද රැස් කළහ.
බදුරලිය පළමු ඉනිම සියල්ල දැවී 87යි (19.5) – (චානක රුවන්සිරි 21, දුනිත් ජයතුංග 17, ගිහාන් කෝරලගේ 10, තරිඳු අමරසිංහ 09, ළහිරු මධුශංක 38/4, ඉසිත විජේසුන්දර 8/3, රවින් ප්‍රනාන්දු 31/3යි)
බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම කඩුලු 3ට ලකුණු 365යි (ඉනිම නතර කළා) – (රොන් චන්ද්‍රගුප්ත 119, රවිඳු ප්‍රනාන්දු නොදැවී 114, අසිත වන්නිනායක 63, නිපුන් කරුණානායක නොදැවී 51, චානක රුවන්සිරි 66/1යි)
බදුරලිය දෙවන ඉනිම සියල්ල දැවී 231යි – (ගිහාන් කෝරලගේ නොදැවී 69, ගීත් කුමාර 49, කවිඳු අමන්ත 42, දුනිත් ජයතුංග 24, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 15, අලංකාර අසලංක 12, ජෙෆ්රි වැන්ඩසේ 66/6, රවිඳු ප්‍රනාන්දු 76/3)
- කෝල්ට්ස් – හලාවත මේරියන්ස් (කෝල්ට්ස් පළමු ඉනිමේ ඉදිරියෙන්)
කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති කෝල්ට්ස් – හලාවත මේරියන්ස් අතර තරගයේ දී කෝල්ට්ස් කණ්ඩායමට ලකුණු 64කින් පහසුවෙන් පළමු ඉනිමේ ඉදිරියෙන් සිටීමට උපකාරී වුයේ ධනංජය ලක්ෂාන් පන්දු 111ක දී හතරේ පහර හයක් හයේ පහර තුනක් සමග ලකුණු 84ක් රැස්කර දක්ෂතා දැක්වීමෙනි.
මීට අමතරව මුදිත ලක්ෂාන් ද පන්දු 53ක දී හතරේ පහර තුනක් හයේ පහර දෙකක් සමග ලකුණු 45ක් රැස් කළේය.
හලාවත මේරියන්ස් දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන අවස්ථාවේ ආරම්භක පිතිකරු විශ්ව චතුරංග පන්දු 118ක දී හතරේ පහර 15ක් හයේ පහර දෙකක් සමග ලකුණු 118ක් රැස් කර අගනා ශතකයක් වාර්තා කිරීමට සමත් විය.
හලාවත මේරියන්ස් පළමු ඉනිම සියල්ල දැවී 210යි – (කසුන් විදුර 49, රවීන් යසස් 43, විශ්ව චතුරංග 34, රජිඳ පුංචිහේවා 24, සුමිඳ ලක්ෂාන් 19, අකිල ධනංජය 75/4, දිල්ෂාන් මධුශංක 50/3, දුනිත් වෙල්ලාලගේ 30/2යි)
කෝල්ට්ස් පළමු ඉනිම සියල්ල දැවී 274යි – (ධනංජය ලක්ෂාන් 84, මුදිත ලක්ෂාන් 45, කවිශ්ක අංජුල නොදැවී 39, ඇන්ජලෝ මැතිව්ස් 31, සනෝජ් දර්ශික 30, අකිල ධනංජය 16, දිනේෂ් චන්දිමාල් 13, සුමිඳ ලක්ෂාන් 79/3, දුෂාන් විමුක්ති 47/3, තීක්ෂල ද සිල්වා 34/2, චමෝද් සඳරු 45/2 යි)
හලාවත මේරියන්ස් දෙවන ඉනිම තරගය නතර කරන විට කඩුලු 7ට 229යි –(විශ්ව චතුරංග 118, චමෝද් සඳරු නොදැවී 28, තීක්ෂල ද සිල්වා 19, කසුන් විදුර 16, සුපුන් වඩුගේ 14, අකිල ධනංජය 71/3, ඇන්ජලෝ මැතිව්ස් 60/3)
- ඒස් කැපිටල් – පාණදුර ක්‍රීඩා සමාජය (ඒස් කැපිටල් ප්‍රථම ඉනිමේ ඉදිරියෙන්)
බම්බලපිටියේ පැවැති මේ තරගය ප්‍රථම ඉනිම කරට කර තියුණු සටනක්ව පැවැති අතර ඒස් කැපිටල් ප්‍රථම ඉනිමේ දී ලකුණු 19කින් ඉදිරියෙන් සිටීමට සමත් විය.
ඒස් කැපිටල් ප්‍රථම ඉනිමේ වැඩි වාසිය අත්කර ගැනීමට අවස්ථාව උදා වුයේ ඔවුනගේ අංක හත පිතිකරු වනුජ සහන් පන්දු 127ක දී හතරේ පහක් සමග නොදැවී ලකුණු 70ක් රැස් කිරීමෙනි. මීට අමතරව ලකුණු රැස් කිරීමේ දී දස්කම් පෑ රවිඳු රත්නායක පන්දු 102කට මුහුණ දී හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමග ලකුණු 46ක් රැස් කළේය.
ඇඳිරි කාලගුණය මත තරගය වේලාසන නිම වන විට පාණදුර දෙවන ඉනිම සඳහා කඩුලු දෙකකට ලකුණු 111ක් ලබා සිටියේය. වැඩිම ලකුණු ලාභියා වු ආරම්භක පිතිකරු සහ නායක ඉරෝස් සමරසූරිය පන්දු 100කට මුහුණ දී හතරේ හයක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 57ක් ලැබීය.
පාණදුර පළමු ඉනිම සියල්ල දැවී 249යි – (රමිඳ විජේසූරිය 77, ඕෂද ප්‍රනාන්දු 42, ඉරෝස් සමරසූරිය 37, රුමේෂ් බුද්ධික 31, කේෂර නුවන්ත 26, මෙලන් හංසක 41/5, රොෂාන් ජයතිස්ස 62/2, වනුජ සහන් 91/2යි)
ඒස් කැපිටල් පළමු ඉනිම සියල්ල දැවී 268යි – (වනුජ සහන් නොදැවී 70, , රවිඳු රත්නායක 46, පවන්ත වීරසිංහ 34, තනුක දාබරේ 33, රොෂාන් ජයතිස්ස 26, හිරාන් ජයසුන්දර 23, සකුන ලියනගේ 16, කේසර නුවන්ත 75/5, නිමේෂ් විමුක්ති 49/4)
පාණදුර ක්‍රීඩා සමාජය දෙවන ඉනිම තරගය නිම වන විට කඩුලු 2ට 111යි – (ඉරෝස් සමරසූරිය නොදැවී 57, ඕෂද ප්‍රනාන්දු 27, ළහිරු දෙවටගේ නොදැවී 24, වනුජ සහන් 47/2)
- මීගමුව ක්‍රීඩා සමාජය – රාගම (අයහපත් කාලගුණයෙන් තරගයට වරින් වර බාධා)
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයට වර්ෂාවෙන් වරින් වර බාධා ඇති විණි. මීගමුව ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ කඩුලු අටකට රැස් කළ ලකුණු 246ට පිළිතුරු ලෙස අද (02) තරගය නිම වන විට රාගම ප්‍රථම ඉනිම සඳහා කඩුලු හයක් දැවී ලකුණු 174ක් ලබා සිටියේය.
මීගමුව ක්‍රීඩා සමාජයේ කවීන් ප්‍රනාන්දු සහ හිමාෂ ලියනගේත් රාගම ක්‍රීඩා සමාජයේ ජනිත් ලියනගේත් අර්ධ ශතක රැස් කිරීම සහ මීගමුව කණ්ඩායමේ ධනුෂ්ක සඳරු ලකුණු 32කට කඩුලු පහක් සහ රාගම කල්හාර සේනාරත්න ලකුණු 86කට කඩුලු පහක් දවාලීම මේ තරගයේ විශේෂ සිදුවීම් විය.
මීගමුව ක්‍රීඩා සමාජය ප්‍රථම ඉනිම කඩුලු 8ට 246යි – (කවීන් ප්‍රනාන්දු 54, හිමාෂ ලියනගේ 55, පසිඳු ලක්ෂාන් 41, ප්‍රමෝද් මධුවන්ත 29, ඇන්ජලෝ ජයසිංහ 27, උපුල් ඉන්ද්‍රසිරි නොදැවී 18, කල්හාර සේනාරත්න 80/5, හරින් රත්නමුදලි 32/2)
රාගම ක්‍රීඩා සමාජය ප්‍රථම ඉනිම තරගය නිම වන විට කඩුලු 6ට 174යි – (ජනිත් ලියනගේ 50, ගවිරු සෙන්හස් 49, සුමිඳ ප්‍රනාන්දු 35, විනුර දුල්සර 16, රවිඳු සෙම්බුකුට්ටි නොදැවී 10, ධනුෂ්ක සඳරු 32/5)