කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මාස 5 ක පමණ කාලයක් ඉතිරිව තිබෙන පසුබිමක ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් තරග වදිනු ලබන සර්වෝ කුසලාන තුන්කොන් එක්දින කාන්තා ක්‍රිකට් තරගාවලිය හෙට (27 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දිවා තරග 7 කින් සමන්විත මෙම තරගාවලියේ සමාරම්භක තරගයේදී සත්කාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉන්දියානු කාන්තා කණ්ඩායම සමගින් තරග වදිනු ඇත.
මෙම තරගාවලිය සඳහා නම් කර ඇති කණ්ඩායම් 3 ටම නවක ක්‍රීඩිකාවන් රැසක්ම ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි. මෙහිදී කණ්ඩායම් 3 ම අවසන් වතාවට තරග කිරීමේදී කරට කරට සිට තරග වැදුණු බැවින් මෙම තරගාවලිය ඉතාමත් උද්‍යෝගිමත් තරගාවලියක් වනු ඇති බවට අනුමාන කළ හැක.
මෙහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම මුණ ගැසෙනු ලබන්නේ ආසියානු ශූරියන් ලෙස සිට ගනිමිනි. අවසන් වතාවට රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කුසලාන දිනා ගන්නා ලද්දේ ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමිනි.
“ඔව් අපි අවසන් වතාවට ආසියානු කුසලාන අවසන් මහ තරගයේදී ඉන්දියානු කණ්ඩායම මුන ගැසුණා. නමුත් ඒ වෙනස් තරග ආකෘතියකදී. මම දන්නවා අපි ඔවුන්ව එහිදී පරාජයට පත් කලා කියලා. නමුත් ඔවුන් ඉතාම හොඳ කණ්ඩායමක්. ඔවුන් අවසන් වරට පැවැති ලෝක කුසලාන තරගාවලියෙදි වගේම අවසන් තරගාවලි කීපයෙදිම හොඳින් ක්‍රීඩා කරලා තියෙනවා. ඔවුන් හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායමක් බව අපි දන්නවා. නමුත් අපි එක් වතාවකදි ක්‍රීඩා කරන්නේ එක් තරගයයි. මම හිතනවා අපිට අපේ හොඳම ක්‍රීඩාව හෙට ක්‍රීඩා කරන්න පුුලුවන් වෙයි කියලා“ යනුවෙන් අද පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සඳහන් කර සිටියාය.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වතාවට සහභාගි වුණු තරගාවලි දෙකම අයර්ලන්තය සහ නවසීලන්තය හමුවේ පරාජයට පත්ව ඇති බැවින් තවත් මාස 5 ක කාලයක ඇවෑමෙන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර තම දක්ෂතා මුවහත් කර ගැනීමට මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට බෙහෙවින් වැදගත් වනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමට ඉකුත් 2022 වසරේ පැවැති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ගිලිහී ගියත් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පැවැති කාන්තා ලීග් තරගාවලියේ පස්වැනි තැනට පත්වෙමින් නිමා කිරීමට සමත්වීම නිසා ඔවුන් මෙවර ඉන්දියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා සිටියි.
හෙට තරගය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් කිරීම වෙනුවෙන් හිටපු නායිකාවක වන වමත් දඟ පන්දු යවන ඉනෝකා රණවීරවද ඇතුළත් කර තිබේ. ඇයට අමතරව සුගන්දිකා කුමාරි, ඉනෝෂි ප්‍රියදර්ශනී, සහ කවීෂා දිල්හාරි යන දඟ පන්දු යවන්නියන්ද කණ්ඩායමට ඇතුළත්ව ඇති බැවින් බොහෝ විට හෙට තරගයේදී දඟ පන්දු යවන්නියන්ගේ දක්ෂතා මැන බැලෙ තරගයක් ලෙසින්ද හැඳින්විය හැක. වේග පන්දු යවන්නියන් වශයෙන් පළපුරුදු අචිනි කුලසූරිය ඇතුළත්ව සිටින අතර අවු. 19 න් පහළ බාළිකා පිලේ උප නායිකාව වන රශ්මිකා සෙව්වන්දිද ඇයගේ සහායට සංචිතයේ පසුවෙයි.
“ඇත්තටම අපි ගොඩක් තරුණ කීඩිකාවන්ට අවස්ථාවක් දුන්නා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ලෝකෙ ඉන්න හොඳම කණ්ඩායම් දෙකක් එක්ක ක්‍රීඩා කරන් ලැබීම ඔවුන්ට හොඳ දෙයක්. එය ඔවුන් හොඳ විදියට අරගෙන හොඳම ක්‍රීඩා කරයි කියලා මම විශ්වාස කරනවා. මට අවශ්‍ය නෑ ඔවුන්ට පීඩනය ලබා දෙනන්. මොකද අපේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් සිටිනවා. මම හිතන්නේ ඔවුන්ගේ වගකීම තමයි පීඩනය හසුරුවරගෙන ක්‍රීඩා කරන එක. මං ඒකට වැඩ කරනවා. එහෙම වුණොත් අපිට අපේ අලුත් ක්‍රීඩිකාවන්ගේ උපරිමය ලබාගන්න“ යනුවෙන් කණ්ඩායමට නවක ක්‍රීඩිකාවන් පැමිණ සිටීම පිළිබඳව ශ්‍රී ලංකා නායිකාව අදහස් දක්වා සිටියාය.
ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පිතිකාරිනියක් ලෙස ඇයගේ දායකත්වය නිබඳවම ලබා දෙන අතර අභියෝගය බවට පත්ව ඇත්තේ ඇයගේ දායකත්වය හැර සෙසු ක්‍රීඩිකාවන් සිය පිතිකරණ රිද්මයට අනුකූලවීමය. එහෙත් අවසන් තරගාවලි කීපය ගෙන බැලීමේදී හර්ෂිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්න චමරි විසින් එතෙක් තනිවම දරන ලද බර බෙදා ගැනීම වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරිට පසුව ශතක වාර්තා කරන ලද පිතිකාරිණියන් බවට පත්වීමෙනි. මෙය ඉදිරියේදී එන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඉතා සුභ පෙර නිමිත්තක් ලෙස සඳහන් කළ හැක.
මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින අධික උෂ්ණත්වය මෙම තරගාවලියේදී ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබේ. ක්‍රීඩිකාවන්ට පමණක් නොව නැෂනල් සුපර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමට ලෑස්ති වෙන දඹුල්ල කණ්ඩායමද සිය පුහුණුවීම් වේලාසනම නතර කර දමා සිය හෝටලය බලා ගියේ උෂ්ණත්වයේ තිබූ දැඩි බලපෑම හේතුවෙනි. මෙය හෙටින් ආරම්භ වන තරගාවලියට කෙසේ බලපාවිද යන්න කර ලද විමසීමේදී චමරි මෙන්ම ඉන්දීය නායිකා හර්මන්ප්‍රිට් කෝර් පවා සඳහන් කර සිටියේ එය අභියෝගයක් බවයි.
“මේ උෂ්ණත්ව තත්ත්වය දරාගෙන ක්‍රීඩා කිරීම අභියෝගයක්. නමුත් අපි ඒ අභියෝගයට මුහුණ දිය යුතුයි. ඒ වගේම අවසන් මාස කීපයේදීම අපි ක්‍රීඩා කළේ දිවා/රාත්‍රී තරග. නමුත් මේ තරගාවලියේදී අපිට ක්‍රීඩා කරන්න වෙලා තියෙන්නේ දිවා තරග. ඒ නිසා අපි මේ උෂ්ණත්වය දරා ගනිමින් ක්‍රීඩා කිරීම සම්බන්ධව මූලික අවධානය යොමු කර තියෙනවා“ යැයි ඉන්දීය නායිකාව පවසා සිටියාය.
මේ අතර ඒ පිළිබඳව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සඳහන් කර සිටියේ මෙවැනි අදහසකි. “සත්කාරක කණ්ඩායම වුණත් මේ උෂ්ණත්වය ගෙන බලපුවාහම ටිකක් වැඩියි. නමුත් ඒක නිදහසට කරුණක් විදියට ගන්න බෑ. මං හිතන්නේ මේ කාලගුණයේ තමයි අපිට ක්‍රීඩා කරන්න වෙන්නේ. පසුගිය සති දෙකේම මේ කාලගුණ තත්ත්වය යටතෙ අපේ පුහුණුවීම් කරලා අපි ඒකට ලෑස්ති වෙලා ඉන්නවා. අනිවාර්යයෙන්ම රස්නේ බලපෑමක් තියෙනවා. පළමු ඉනිමද දෙවැනි ඉනිමද කියලා නෑ. ඉන්දියාවට වගේම අපිටත් මේ වෙදර් උෂ්ණ කාලගුණය එක වගෙයි“ යනුවෙන් චමරි සඳහන් කර සිටියාය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, හංසිමා කරුනාරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, අනුෂ්කා සංජීවනී, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, මනුදි නානායක්කාර, රශ්මිකා සෙව්වන්දි, දෙව්මි විහංගා, ඉනෝෂි ප්‍රියදර්ශනී, අචිනි කුලසූරිය, සුගන්දිකා කුමාරි, මල්කි මදාරා, ඉනෝකා රණවීර, පියුමි වත්සලා.
ඉන්දීය කාන්තා කණ්ඩායම – හර්මන්ප්‍රිට් කෝර් (නායිකා), ස්මිත්‍රී මන්දනා, යස්ටිකා බාතියා, හර්ලීන් ඩියෝල්, රීෂා ගෝෂ්, ටෙජාල් හසබ්නිස්, ප්‍රාටිකා රවාල්, ජෙමීමා රොඩ්‍රිගස්, අමන්ජෝට් කෝර්, ස්නේ රානා, දීප්ති ෂර්මා, කේෂව් ගෞෟතම්, අරුන්ධතී රෙඩීෂ. ශ්‍රී චරනි.