slc
logo
Home   |    News
අප්‍රේල් 27, 2025
විශ්මිගේ තැන හසිනිට

sinhala editor

සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි වුවත් මධ්‍යාහන 12 ට තරගය ආරම්භ කිරීමට ක්‍රීඩාංගණ බලධාරීන්ට හැකියාව ලැබී තිබේ. ඒ අනුව මෙම තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 12 බැගින් තරගයක් ලෙසින් පැවැත්වෙනු ඇත.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායිකා හර්මන්ප්‍රීට් කෝර් පළමුව  පන්දුවට පහර දීම සඳහා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියාය. ඒ අනුව මෙම තරගයට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් මැද පෙළ පිතිකාරිණියක වන පියුමි වත්සලා සහ මඳ වේග පන්දු යවන්නියක වන මල්කි මදරා එක්දින වරම් දිනාගත්හ.

පානදුර ක්‍රීඩා සමාජ නියෝජනය කරනු ලබන පියුමි වත්සලා නිමාවට පත් වුණ දේශීය එක්දින කාන්තා තරගාවලියේදී ශතක 2 ක් වාර්තා කරමින් එම තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා ගත් අතර අනතුරුව ජාතික කණ්ඩායමේ දොර විවර කර ගත්තාය.

බෙලිඅත්ත ධම්මපාල බාළිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති පියුම් ශාරීරික අධ්‍යාපන ගුරුවරියක් ලෙස සේවය කරන්නීය. 29 වැනි වියේ පසුවන පියුමි ගාල්ල කතලුව ජාතික පාසලේ ගුරුවරියක ලෙසින් කටයුතු කරන්නීය.

බෙලිඅත්ත ධම්මපාල බාළිකා විදුහල යන ලෙදර් පන්දු ක්‍රිකට් ක්‍රීඩා නොකරන පාසලකි. එහෙත් ක්‍රිකට් ක්‍රීඩා නොකරනු ලබන පාසල්වල පවා දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරන ‘ක්‍රිකට් ගමට‘ ශක්තිමත් වැඩපිළිවෙළ යටතේ පියුම් වත්සලාට ජාතික කණ්ඩායමේ දොර විවෘත විය.

අනෙක් ක්‍රීඩිකාව වන මඳ වේග පන්දු යවන මල්කි මදාරා ඉකුත්දා නවසීලන්ත තරග සංචාරයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් විස්සයි-20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කිරීමට වරම් ලබාගත්තාය. සිය මංගල ජාත්‍යන්තර තරගයේදීම නවසීලන්ත කණ්ඩායමේ කඩුලු 3 ක් දවා ගැනීමට සමත් මල්කි මදාරා එම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන ලබමින් සිය ජාත්‍යන්තර තරග දිවියට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් ක්‍රීඩිකාවක් විය.

මාතර, අකුරැස්සෙහි මාරඹ නම් ග්‍රාමයේ ඉපිද ජාතික කණ්ඩායමට පිවිසීමට වරම් ලද මල්කි මදාරා තවමත් 24 වැනි වියේ පසුවන්නීය. මාරඹ මහ විදුහලින් සහ තෙලිජ්ජවිල මැදි විදුහලින් අධ්‍යාපන හදාරා ඇති මල්කිද පියුමි මෙන්ම පාසල් වියේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට වරම් නොලැබූ ක්‍රීඩිකාවකි. එහෙත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලද පාසල් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සොයා යෑම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දියත් කර ඇති ‘ක්‍රිකට් ගමට‘ වැඩ සටහන යටතේ මල්කි ජාතික කණ්ඩායමට පැමිණීමට වරම් දිනාගත් ක්‍රීඩිකාවක් වීම කැපී පෙනෙයි.

මල්කි මෙන්ම පියුමිද ශී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ මාතර කණ්ඩායමට ක්‍රීඩා කිරීමට වරම් ලබා එම තරගාවලියේදී දක්වන ලද දක්ෂතා මත ක්‍රීඩා සමාජ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබාගෙන ඇති ක්‍රීඩිකාවෝ වෙති. මල්කි කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන අතර වසර 2 ක් වැනි කෙටි කාලයක් තුළදී ජාතික කණ්ඩායමේ දොරටු විවර කර ගැනීමද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තුළ ශක්තිමත් ක්‍රිකට් සැලැස්මක් ඇති බවට වන හොඳම සාක්ෂියක් වේ.

එමෙන්ම අද තරගයට නවසීලන්ත තරග සංචාරයට ඇතුළත් නොවුණු හසිනි පෙරේරා, හංසිමා කරුනාරත්ණ සහ ඉනෝකා රණවීර ඇතුළත්ව සිටිති. 39 වැනි වියේ පසුවන වමත් දඟපන්දු යවන්නිය වන ඉනෝකා රණවීර අවසන් වතාවට එක්දින තරගයකට ක්‍රීඩා කර ඇත්තේ ඉකුත් 2024 වසරේ ජුනි මසදී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව හම්බන්තොට දී පැවැති තරගයට වේ.

මංගල එක්දින වරම් සංඛේතවත් කිරීම වෙනුවෙන් අද උදෑසන පැවැති හිස් වැසුම් ප්‍රධානයේදී පියුමි වෙනුවෙන් වන හිස්වැස්ම ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා විසින්ද මල්කිගේ හිස්වැස්ම කාන්තා නායිකා චමරි අතපත්තු අතින්ද පිරිනමන ලදී.

කැපී පෙනෙන සිදුවීම වන්නේ ගෙවී ගිය කාල සීමාවේදී චමරි අතපත්තු සමගින් ඉනිම ආරම්භ කරන ලද විශ්මි ගුණරත්නට අද තරගයේ ස්ථානය අහිමිව තිබීමය. ඒ වෙනුවට හසිනි පෙරේරා විසින් චමරි සමග ඉනිම ආරම්භ කිරීමට නියමිතව තිබේ.

තවත් මාස 5 ක පමණ කාලයකින් පසු ඉන්දියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ක්‍රීඩා කරනු ලබන අවසන් එක්දින තරගාවලිය වන්නේද අදින් ආරම්භ වන මෙම කාන්තා තුන්කොන් එක්දින තරගාවලිය වේ.

මේ අතර ඉන්දීය කාන්තා කණ්ඩඩායම ද අද තරගයේදී නවක ක්‍රීඩිකාවන් කෙශ්වි ගෞතම් සහ ශ්‍රී චරනි එක්දින වරම් හිමිකර දෙමින් තරගයට අවතීර්ණව සිටිති.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – 1. චමරි අතපත්තු (නායිකා), 2. හසිනි පෙරේරා, 3. හර්ෂිතා සමරවික්‍රම,4. කවීෂා දිල්හාරි, 5. නිලක්ෂි ද සිල්වා, 6. අනුෂ්කා සංජීවනී, 7.හංසිමා කරුණාරත්න, 8. පියුමි වත්සලා, 9. අචිනි කුලසූරිය, 10. ඉනෝකා රණවීර, 11. මල්කි මදාරා.

ඉන්දීය කාන්තා කණ්ඩායම – 1. මර්මන්ප්‍රිට් කෝර්, 2. ස්මිත්‍රී මන්දනා, 3. පාර්ටිකා රාවල්, 4. හර්ලීන් ඩියෝල්, 5. ජෙමීමා රොඩ්‍රිගස්, 6. රීසා ගෝෂ්, 7. දීප්ති ෂර්මා, 8. කේෂ්වී ගෞතම්, 9. අරුන්ධි රෙඩී, 10. ස්නෙ රානා, 11. ශ්‍රී චරනි.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee