ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අබුඩාබි නුවර අද (29 දා) ආරම්භ වුණු පළමු සහ එකම සිව්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම දිනය අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 345 ක් ලබා සිටියේය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ‘ඒ’ නායක පසිදු සූරියබණ්ඩාර පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව ඉනිම ඇරැඹි ළහිරු උදාර පන්දු 138 කදී ලකුණු 107 ක් ලබා ගත්තේය. හතරේ පහර 14 ක් පමණක් ඇතුළත් වුණු උදාරගේ ඉනිම කඩුලු අතර දිව යෑමට යද්දී වූ අතපසුවීමකට අහිමිකර ගත්තේය.
ඔහුට අනගි සහායක් ලබා දුන් අනෙක් ආරම්භක පිතිකරුවා වූ කමිල් මිශාර ලකුණු 35 ක් ලබා ගත්තේය. පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක සම්බන්ධතාවක් සමඟින් ලකුණු රැස් කිරීම ඇරඹූ ශ්‍රී ලංකා ඉනිමේදී නුවනිඳු ප්‍රනාන්දු සහ නායක පසිඳු බණ්ඩාර අඩු ලකුණු වලට සීමා වුවද මැද පෙළින් පැමිණි සදීර සමරවික්‍රම සහ සොනාල් දිනූෂ ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිම ඉදිරිය රැගෙන ගියහ. මෙහිදී සොනාල් දිනූෂ ලකුණු 64 ක් ලබා කඩුල්ලේ රැඳී සිටින්නේ තරගයේ දෙවැනි දිනය වන හෙට දිනයේදීත් පන්දුවට පහර දීමේ අවස්ථාව විවර කර ගනිමිනි.
සදීර සමරවික්‍රම ලකුණු 44 කදී දැවී යද්දී පවන් රත්නායක ලකුණු 19 කට දැවී ගියේය. දිනූෂ සමඟ අනෙක් අන්තයෙන් ඉසිත විජේසුන්දර ලකුණු 08 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියි. පන්දු යැවීමේදී ඉෂීර් අහමඩ් කඩුලු 3 ක් දවාගනිද්දී සියුර් රෙහ්මාන් කඩුලු 2 ක් බිඳ හෙලූහ.
ශ්‍රී ලංකා ‘ඒ‘ පළමු ඉනිම පන්දුවාර 88 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 345 යි – (ළහිරු උදාර 107, කමිල් මිශාර 35, නුවනිඳු ප්‍රනාන්දු 17, පසිඳු සූරියබණ්ඩාර 11, සදීර සමරවික්‍රම 44, පවන් රත්නායක 19, සොනාල් දිනූෂ 64*, වනුජ සහන් 13, තරිඳු රත්නායක 10, ඉසිත විජේසුන්දර 08*, බෂීර් අහමඩ් 67/3, සියුර් රෙහ්මාන් 59/2, සියුර් රෙහ්මාන් 54/21, ඉස්මිත් අලාම් 46/1)