ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අබුඩාබි නුවර පැවැත්වෙන නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (30 දා) දිනයේදී දෙපිළේම කඩුලු 13 ක් බිඳ වැටීම කැපි පෙනිණ. එසේ දැවී ගිය කඩුලු අතර ශ්‍රී ලංකා ‘ඒ‘ කඩුලු 3 ක් දැවී යද්දී සත්කාරක ඇෆ්ගනිස්තානු පිලේ කඩුලු 10 ක් බිඳ වැටිණ.
කඩුලු 8 කට ලකුණු 345 ක් ලබා සිටියදී දෙවැනි දිනය ආරම්භ කළ ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 405 ක් රැස් කිරීමට සමත්විය. ඒ අනුව සිය පිළිතුරු ඉනිම ආරම්භ කළ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 168 කට සීමා කිරීමට ඉසිත විජේසුන්දර ප්‍රමුඛ ශ්‍රී ලංකා ‘ඒ‘ පන්දු යවන්නෝ සමත්වූහ.
මෙහිදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු දකුණත් වේග පන්දු යවන ඉසිත, ඇෆ්ගනිස්තානු ‘ඒ‘ ඉනිමේ කඩුලු 6 ක් ලකුණු 35 ක් ඇතුළත දවාලූවේය. පන්දුවාර 11 ක් යවන ලද ඉසිත ඒ අතරතුර නිලකුණු පන්දු වාර 2 ක්ද යවමින් ප්‍රතිවාදීන්ට වැඩිම තර්ජනයක් එල්ල කරන ලද පන්දු යවන්නා බවට පත්වූවේය. ඔහුට අනගි සහායක් ලබා දුන් තරිඳු රත්නායක ලකුණු 26 කට කඩුලු 3 ක් දවාගත්තේය.
ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා වූයේ කඩුලු රකින ක්‍රීඩක අව්සාර් සසායි වන අතර ඔහු පන්දු 107 කදී ලකුණු 54 ක් රැස් කර ගත්තේය.
ලකුණු 238 ක පළමු ඉනිමේ වාසියක් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සතු වුවද තරගයේ එහෙම්පිටින්ම තවත් දින දෙකක් ඉතිරිව තිබෙන බැවින් පිතිකරණ පුහුණුව ලබා ගැනීම අරමුණු කොට නැවතත් පන්දුවට පහර දීමට පියවර ගත්තේය ඒ අනුව දිනය අවසන් වන විට ශ්‍රී ලංකා ‘ඒ‘ පිතිකරුවෝ කඩුල්ලක් දැවී ලකුණු 98 ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම මේ වන විට සමස්ථ තරගයේදී තවත් කඩුලු 9 ක් අත්තැව ලකුණු 336 ක් ඉදිරියෙන් පසුවන්නේය.
පළමු ඉනිමේ ශතක ලාභියා බවට පත්වුණු ළහිරු දෙවැනි ඉනිමේදී ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියද දෙවැනි කඩුල්ලට එක් වුණු කමිල් මිශාර සහ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 98 ක සම්බන්ධතාවත් පවත්වමින් දිනය අවසන් වන තෙක් කඩුලු ආරක්ෂා කර ගත්හ. මෙහිදී නුවනිඳ්‍ර පන්දු 75 කදී ලකුණු 66 ක්ද කමිල් මිශාර පන්දු 54 කදී ලකුනු 28 ක් ද ලබා කඩුල්ලේ රැඳී සිටිති.
පෙර දිනයේදී නොදැවී ලකුණු 64 ක් ලබා සිටි සොනාල් දිනූෂ අද දිනයේදී ශතකයක් වාර්තා කර ගැනීමට සමත්වීම කැපී පෙනින. පන්දු 121 කට මුහුණ දී තිබූ දිනූෂ තම ඉනිම වෙනුවෙන් හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 104 ක් ලබා සිටියේ ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිම හමාර වුවද තම ඉනිම ආරක්ෂා කර ගනිමිනි. පසු පෙළ පිතිකරුවන් අතරින් පන්දුවෙන් දස්කම් දැක්වූ ඉසිත විජේසුන්දර ලකුණු 19 ක් ලබා තම පිතිකරණයෙන්ද දායකත්වය දැක්වූවේය.
ශ්‍රී ලංකා ‘ඒ‘ පළමු ඉනිම පන්දුවාර 100.2 කදී සියලු දෙනා දැවී ලකුණු 406 යි – (ළහිරු උදාර 107, කමිල් මිශාර 35, නුවනිඳු ප්‍රනාන්දු 17, පසිඳු සූරියබණ්ඩාර 11, සදීර සමරවික්‍රම 44, පවන් රත්නායක 19, සොනාල් දිනූෂ 104*, වනුජ සහන් 13, තරිඳු රත්නායක 10, ඉසිත විජේසුන්දර 19*, ඩිල්ෂාන් මදුශංක 08, බෂීර් අහමඩ් 77/4, සියුර් රෙහ්මාන් 93/2, සියුර් රෙහ්මාන් 54/1, ඉස්මිත් අලාම් 76/1)
ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පළමු ඉනිම පන්දුවාර 46.5 කදී සියලු දෙනා දැවී ලකුණු 168 යි – (සියූ රෙහ්මාන් 22, ඉස්මත් අලාම් 10, ශාම්ස් උර් රෙහ්මාන් 20, අෆ්සාර් සසායි 54, බහිර් ශා 21, ඉම්රාන් 13, ඉසිත විජේසුන්දර 35/6, තරිඳු රත්නායක 26/3, වනුජ සහන් 60/1)
ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ඉනිම පන්දුවාර 23 කදී කඩුල්ලක් දැවී ලකුණු 98 යි – (නුවනිඳු ප්‍රනාන්දු 66*, කමිල් මිශාර 28*, බශීර් අහමඩ් 17/1)





