ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වුණු බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී අද (08 දා) පැවැති හයවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමෙන් තොර විය. ඒ අනුව දෙරට අතර පැවැති තරග 6 කින් සමන්විත එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.
දෙරට අතර පැවැති තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත් වූ නමුත් දෙවැනි” තෙවැනි සහ සිව්වැනි තරග ජය ගනිමින් පෙරමුණ ගැනීමට බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමත්විය. කෙසේ වෙතත් පස්වැනි තරගය ජයගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත්වීමත් සමඟ හය වැනි තරගයද ජය ගනිමින් තරගාවලිය සම කිරීමේ අවස්ථාවට හිමිව තිබිණ. එහෙත් අවාසනාවන්ත ලෙස හයවැනි තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තරගාවලිය සම කර ගැනීමට තිබූ අවස්ථාව අහිමිවිය.
කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පන්දුවාර 39.1 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 188 ක් ලබා සිටියේය. ඉන් අනතුරුව වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගය පැවැත්වීමට විනිසුරුවන්ට නොහැකි විය.
තරගාවසානයේ පැවැති ජය සංකේත ප්‍රධානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී තරගාවලියේ වීරයා ලෙසින් බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ සවාඩ් අබ්රාර් සම්මාන දිනාගත්තේය.
බංග්ලාදේශ යොවුන් පිල පන්දුවාර 39.1 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 188 යි – (කලාම් සිද්දික් 31, අසිසුල් කහීම් 94, රිසාන් හොසේන් 48*)