slc
logo
Home   |    News
ජූනි 16, 2025
ටෙස්ට් ලෝක ශූරතාවේ සිව්වැනි චක්‍රය ශ්‍රී ලංකාව අරඹද්දී

sinhala editor

මැතිව්ස් පටන් ගත් තැනින්ම ටෙස්ට් දිවිය අවසන් කරයි

ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ උණුසුම පහව යෑමට මත්තෙන් සිව්වැනි වතාවටත් පැවැත්වෙන ටෙස්ට් ලෝක ශූරතාවලි චක්‍රය (2025-27) ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් දෙක හෙට (17 වැනිදා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මුණ ගැසෙනු ඇත. හෙටින් ආරම්භ වන දින 5 දී වැඩිම අවධානයක් යොමුව ඇති කරුණ බවට පත්ව තිබෙන්නේ වසර 16 ක ඇන්ජලෝ මැතිව්ස්ගේ ටෙස්ට් තරග දිවියේ අවසාන තරගය වන හෙට තරගය වර්ෂාවෙන් තර්ජනයකින් තොරව තරගය පවත්වාගෙන යෑමට හැකියාවද තිබේද යන්න කරුණ පිළිබඳවය.

2009 වසරේදී පාකිස්තානු පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමුවෙන්ම ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන ලද මැතිව්ස්, ඔහුගේ අවසන් තරගයටද ගාල්ලේදී සහභාගිවීම දෛවෝපගත සිදුවීමක් වනු ඇත. මේ වන විටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 118 කට ක්‍රීඩා කර ඇති දකුණතින් පන්දු යවන සහ දකුණතින් පන්දුවට පහර දෙන තුන් ඉරියව් ක්‍රීඩකයා ඉනිම 216 ක් ඇතුළත ටෙස්ට් ශතක 16 ක් සහ අර්ධ ශතක 45 ක් සමගින් මුලු ලකුණු 8167 ක් රැස් කර ගැනීමට සමත්ව සිටින්නේය.

2013 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ සුක්ඛානම භාරගනු ලබන මැතිව්ස්, නායකත්වය ලබා දුන් ටෙස්ට් තරග 32 දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දී තිබෙන ජයග්‍රහණ සංඛ්‍යාව 13 කි.  

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම හෙට තරගයට පිවිසෙන්නේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ලද තරග 2 කින් සමන්විත පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයකින් පසුව වන බව සැබෑ නමුත්, ශ්‍රී ලංකා නායකයාගේ අදහස වී ඇත්තේ හෙටින් ආරම්භ වන ටෙස්ට් තරගාවලියේ සිටම හැකි සෑම තරගයක්ම ජය ගනිමින් උපරිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් එකතු කර ගත යුතු බවයි.

“අපි ආරම්භ කරන්නේ අලුත් තරග චක්‍රයක්. මේ වගේ තරගාවලියක ඉදිරියට යන්න නම් අපි ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සෑම තරගාවලියක්ම දිනන්න ඕන. ඒ සෑම අවස්ථාවකදීම තියෙන ප්‍රසාද ලකුණු උපරිම සංඛ්‍යාව අපි එකතු කරගත යුතුයි“ යැයි අද තරගය පිළිබඳව අද මධ්‍යාහනයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකාවේ පළමු ප්‍රතිවාදීන් බවට පත්ව සිටින බංග්ලාදේශ කණ්ඩායමටද 2025 වසර එතරම් සුභදායී වසරක් නොවේ. ඔවුන් මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා පැවැති තරග අතුරින් ජය ගැනීමට සමත්ව සිටින්නේ අවස්ථා ද්විත්වයකදී පමණක් වීම හේතුවෙන් ඔවුන් තුළ වන විශ්වාසයද අඩු මට්ටමක පවතිනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට අවතීර්ණ වන්නේ නවක ක්‍රීඩකයින් 6 දෙනෙකු පිරිවරා ගනිමිනි. ඒ අතරිනුත් සිව් දෙනෙකු ටෙස්ට් කණ්ඩායමට පමණක් නොව ඕනෑම ජාත්‍යන්තර තරග අංශයකට කෝඩු කාරයෝ වෙති.

නවක ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා පිලේ පසුවන පළපුරුදුම ක්‍රීඩකයා වන හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හෙට තරගයෙන් පසු සිය ටෙස්ට් තරග දිවියට විශ්‍රාම දීමට සූදානමින් සිටියි. ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසු හිටපු ටෙස්ට් නායක ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ටෙස්ට් දිවියට සමුදුන් අතර ඔහුගේ අඩිපාරේම යමින් මැතිව්ස්ද ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගනු ඇත. මැතිව්ස්ගේ තැන ලබා ගැනීම වෙනුවෙන් මෙතෙක් දිනක් ශ්‍රී ලංකා සංවර්ධිත සංචිතය මෙන්ම ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ කැපී පෙනෙන දස්කම් දක්වා සිටින ක්‍රීඩකයින් වන ළහිරු උදාර, සොනාල් දිනූෂ, පසිඳු සූරියබණ්ඩාර මෙන්ම පවන් රත්නායකව සංචිතයට එක් කොට සිටියි.

හෙටින් ආරම්භ වන ටෙස්ට් තරගයේදී දිමුත් කරුණාරත්නගේ ස්ථානය බොහෝ විට ඕෂද ප්‍රනාන්දුට හෝ ළහිරු උදාරට හිමිවීමේ වැඩි ඉඩ කඩක් පවතින නමුත්, බොහෝ විට ප්‍රභාත් ජයසූරියගේ සහායක දඟ පන්දු යවන්නා ලෙස ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩ කඩක් තරිඳු රත්නායක සතුව පවතිනු ඇත. කැපී පෙනන පළමු පෙළ තරග දිවියකට හිමිකම් කියන රත්නායක පළමු පෙළ කඩුලු 337 ක් ලබා සිටින්නේ තවමත් වයස අවුරුදු 29 ක තරම් වයසේ පසුවෙමිනි. මේ අතර නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 5 කදී කඩුලු 37 ක් දවා ගනිමින් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සම්මාමන දිනා ගත් අකිල ධනංජය ද වසර 6 කට පසු ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමේ අදහසින් ශ්‍රී ලංකා කණ්ඩායමට එකතුව සිටියි. එහෙත් වර්ෂාව සහිත කාල වකවානුවකදී දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමඟින් අවතීර්ණවීමේ හැකියාව පවතින්නේ ඉතාම අවම මට්ටමක බැවින් හෙට දිනයේදී බොහෝ විට තරිඳු හෝ අකිල දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් ක්‍රීඩා කරනු ඇත.

කණ්ඩායම සතු වේගවත්ම පන්දු යවන්නා වන ළහිරු කුමාර පුහුණුවීම් අතරතුරදී ආබාධයකට ගොදුරුව සිටින හෙයින් ඔහු වෙනුවට කසුන් රජිත මෙන්ම ඉසිත විජේසුන්දරවද කණ්ඩායමට එක් කර තිබේ.

බංග්ලාදේශය පිළිබඳව අවධානය යොමු කිරීමේදී පෙර සඳහන් කළ පරිදිම මේ වසරේදී සුපුරුදු රිද්මය ගොඩ නඟා ගැනීමට අසමත්ව සිටියි. ඔවුන් අප්‍රේල් මසදී සිම්බාබ්වේ පිලට එරෙහිව ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුවත් ඔවුන්ගේ ඉදිරි පෙළ ක්‍රීඩකයින් බහුතරයක් තවමත් දක්ෂතා අතරට පැමිණිමට අසමත්ව සිටිති. නායකයා ලෙසින් කටයුතු කරන නජ්මුල් හොසේන් ෂැන්ටෝද අවසන් ටෙස්ට් තරග 10 දී වාර්තා කරගැනීමට සමත්ව ඇත්තේ අර්ධ ශතක 2 ක් පමණි. ඔවුන් සතු ප්‍රධානම ක්‍රීඩකයා වන මුෂ්ෆිකර් රහීම් ක්‍රීඩා කරන ලද අවසන් ඉනිම 13 දී එකම වතාවකදී හෝ ලකුණු 50 සීමාව ඉක්මවා ලබා ගැනීමට අසමත්ව සිටියි. ඇරත් කණ්ඩායම සතුව ස්ථාවර ආරම්භක පිතිකරුවකු නොමැතිවීම නිසා ඉනිම ආරම්භ කරන්නේ නායක ෂැන්ටෝ විසින්ද යන්න තවමත් ඇත්තේ දෙගිඩියාවකි.

ශ්‍රී ලංකා සංචිතය – ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, ඔෂධ ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අකිළ ධනංජය, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, මිලාන් රත්නායක, ළහිරු උදාර, පසිඳු සූුරියබණ්ඩාර, සොනාල් දිනූෂ, පවන් රත්නායක, තරිඳු රත්නායක, ඉසිත විජේසුන්දර.

බංග්ලාදේශ සංචිතය – නජ්මුල් හොසේන් ශන්ටෝ (නායක), අනමුල් හක්, ජේකර් අලී, ලීටන් දාස්, මිහිදුල් ඉස්ලාම් අන්කෝන්, මුෂ්ෆකර් රහීම්, සද්මන් ඉස්ලාම්, මෙහෙදි හසන්, හසන් මිරාස්, මොමනුල් හක්, නයීම් හසන්, තයිජුල් ඉස්ලාම්, එබොදත් හොසේන්, හසන් මහමුද්, හසන් මුරාඩ්, කාලිඩ් අහමඩ්, නහීඩ් රානා.

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee