බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රීඩකයින සිව්දෙනෙකු ඇතුළත් කිරීමට උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට, අලුතින්ම එක්ව සිටින ක්‍රීඩකයින් වන්නේ විසි පස්හැවිරිදි පසිඳූ සූරියබණ්ඩාර, විසිදෙහැවිරිදි පවන් රත්නායක, විසි අට හැවිරිදි ඉසිත විජේසුන්දර සහ විසි නව හැවිරිදි තරිඳු රත්නායක වේ. මොවුන් සිව්දෙනාම කලක් තිස්සේ ශ්‍රී ලංකා සංවර්ධන සංචිතය මෙන්ම ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම නියෝජනය කරමින් දක්ෂතා දැක්වීමට සමත්ව සිටින ක්‍රීඩකයෝ වෙති.
මීට අමතරව අවසන් වරට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සදහා නම් කරන ලද කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අමතරව, සංචිතයට ඇතුළත්ව ඇති ක්‍රීඩකයින් බවට පත්ව සිටින්නේ, නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් තේරී පත් වුණු අකිල ධනංජය වේ.
මෙම තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව කණ්ඩායමේ සිටින පළපුරුදම ක්‍රීඩකයා වන තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සමුගැනීමේ ටෙස්ට් තරගය වෙනු ඇත.
මේ අතර ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටි කඩුලු රකින ක්‍රීඩක සදීර සමරවික්‍රම, පිට දඟ පන්දු යවන්නන් වූ රමේෂ් මෙන්ඩිස් සහ නිශාන් පීරිස්ටත්, පා දඟ පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ ජෙෆ්රි වැන්ඩර්සිට අමතරව වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දුට ස්ථාන අහිමිවීම කැපී පෙනෙයි. කෙසේ වෙතත් ආබාධයක් හේතුවෙන් මෙම සංචිතයට වේග පන්දු යවන ළහිරු කුමාර ඇතුළත් නොවන අතර ඒ වෙනුවට නවක ක්‍රීඩක ඉසිත විජේසුන්දරව නම් කර තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම කොටස් දෙකක් ලෙසින් ඉකුත් 12 වැනිදා සහ 13 වැනිදා දෙදින ශ්‍රී ලංකාවට පැමිණියේය. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලියේ පළමු වැන්න මේ මස 17 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය ජුනි 25 වැනිදා සිට 29 වැනිදා දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම – ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, ඔෂධ ප්‍රනාන්දු, ළහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙනඩිස්, පසිඳූ සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, පවන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක, අකිල ධනංජය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර.