ලකුණු 211 ක් පසුපසින් සිට ඉනිමක පරාජයෙන් බේරීමේ සටන ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායමේ ඉදිරි පෙළ කඩුලු 6 ම ලකුණු 115 ක් ඇතුළත දවා ගත් සත්කාරක පන්දු යවන්නෝ තෙවැනි දිනට තරගය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය පේන මායිමට රැගන ආහ. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී තවත් දින 2 ක්ම ඉතිරිව තිබෙන පසු බිමකදී බංග්ලාදේශ කණ්ඩායමට ඉනිමක පරාජයෙන් ගැලවීමට පමණක් තවත් කඩුලු 4 කදී ලකුණු 96 ක් ලබා ගත යුතුව තිබේ.
තෙවැනි දිනයේ දිවා ආහාරයෙන් පසුව එස්. එස්. සී. තණතීරුව එන්න එන්නම දඟ කැවීමට පටන් ගෙන තිබීම බංග්ලාදේශ පිතිකරුවන්ගේ නළලත රැළිගන්වන සිදුවීමක් බවට පත්ව තිබේ. ඊටත් වඩා ඔවුන් සතු වන ප්‍රධානම අභියෝගය වන්නේ හොඳින්ම පන්දු යවමින් සිටින ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ මුහුණ දීමට තරම් නම් දරාපු පිතිකරුවන් අතරින් ඔවුන් සතු වන්නේ ලිටන් දාස් පමණක් වීමයි.
සුපුරුදු පරිදි එනමුල් හක්ගේ කඩුල්ල දවා ගනිමින් අසිත ප්‍රනාන්දු ආරම්භ කළ කඩුලු දඩයම එලෙසින්ම පවත්වා ගත් සෙසු පන්දු යවන්නන් අතරින් ධනංජය ද සිල්වා සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් දවාලමින් මෙතෙක් සාර්ථකම පන්දු යවන්නන් යුගලය බවට පත්ව සිටිති. අසිත ලබා දුන් ආරම්භයත් සමග ඉදිරියට ගිය ප්‍රභාත් ජයසූරිය බංග්ලාදේශ ලකුණු පුවරුවට තවත් ලකුණක් හෝ එක්වීමට මත්තෙන් අනෙක් ආරම්භක පිතිකරුවා වූ ශද්මන් ඉස්ලාම්ගේ කඩුල්ල දවා ගත්තේ තමන් යළිත් සිය සුපුරුදු පන්දු යැවීමේ රිද්මයට පැමිණි බවට වූ ඉඟි පළ කරමිනි.
කඩුලු 2 කට ලකුණු 290 ක්ව තිබියදී තෙවැනි දිනය ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම බංග්ලාදේශ පන්දු යවන්නන් නිමා කර දමනවිට තවත් ලකුණු 168 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ.
තරගය ආරම්භයේ සිදුවූ කැපී පෙනෙන සිදුවීම වූයේ පැතුම් නිස්සංක ලකුණු 150 සීමාව ඉක්මවා යෑමට සමත්වීමය. මෙය පිට ටෙස්ට් තරග 2 කදී ඔහු ලකුණු 150 සීමාව ඉක්මවා ගිය දෙවැනි අවස්ථාව ලෙසින් සනිටුහන් විය. තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවකට එනමුල් හක් වෙත උඩ පන්දුවක් දැවී පැතුම් දැවී යනවිට පන්දු 254 කට මුහුණ දී ලකුණු 158 ක් ලබා සිටියේය. ඒ ඊට එල්ල කරන ලද හතරේ පහර 19 ද සමගිනි. පැතුම්ගේ දැවී යෑමෙන් පසු ඊලඟට පැමිණ පිතිකරුවන් තිදෙනකු ලකුණු 30 ක් ඇතුළත දැවී යෑම ශ්‍රී ලංකාවට ලකුණු 500 සීමාව ඉක්මවා ලීමට නොහැකිවීමට ප්‍රධාන හේතු වූහ. කෙසේ වෙතත් අංක 7 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි කුසල් මෙන්ඩිස් ඉතාමත් දැකුම් කලු පහරවල් සමගින් ලකුණු 84 ක් ලබා ගැනීමට සමත්වීම නිසා ශ්‍රී ලංකාවට ලකුණු 458 ක් දක්වා සිය ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගැනීමට අවකාශ ලැබිණ.
දිවා ආහාරයෙන් පසුවත් පන්දුවට පහර දුන් කුසල් අනෙක් අන්තයේ වූ පිතිකරුවා ආකර්ෂා කර ගනිමින් පන්දුවට පහර දීම දැක ගත හැකි විය. එහිදී සිය සගයාව ආරක්ෂා කර ගැනීමට ලකුණු 02 ක් සදහා පැති මාරු කර ගැනීමට දරන ලද උත්සාහය වැරදී යෑම නිසා ඔහුව දුවද්දී දැවී යෑමට හසුවූ වා පමණක් නොව පහසුවෙන් ලබාගත යුතුව තිබූ සිය 11 වැනි ශතකයද ඔහුට අහිමි වූවේය.
සෙසු පිතිකරුවන්ට වඩා වේගයෙන් පන්දුවට පහර දුන් කුසල් ලබාගත් ලකුණු 84 සඳහා ඔහු වැය කරන ලද්දේ පන්දු 87 ක් පමණි. එම සුවිශේසී ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් වර්ණවත් කර ගැනීමටද හුරුබුහුටි දකුණත් පිතිකරුවා අමතක නොකළේය.
හෙට තරගයේ සිව්වැනි දිනයයි.
බංග්ලාදේශය පළමු ඉනිම පන්දුවාර 79.3 කදී සියලු දෙනා දැවී ලකුණු 247 යි – (ශද්මන් ඉස්ලාම් 46, අනමුල් හක් 00, මොමිනුල් හක් 21, නජ්මුල් හොසනේ ෂොන්ටෝ 08, මුෂ්ෆිකර් රහීම් 35, ලිටන් දාස් 34, මෙහෙදි හසන් මිරාස් 31, නයීම් හසන් 25, තයිජුල් ඉස්ලාම් 33, එබාදොත් හොසේන් 08, නහීද් රානා 00*, අසිත ප්‍රනාන්දු 51/3, විශ්ව ප්‍රනාන්දු 45/2, සොනාල් දිනූෂ 22/3, ධනංජය ද සිල්වා 15/1, තරිඳු රත්නායක 72/1)
ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 116.5 කදී සියලු දෙනා දැවී ලකුණු 458 යි – (පැතුම් නිස්සංක 158, ළහිරු උදාර 40, දිනේෂ් චන්දිමාල් 93, ප්‍රභාත් ජයසූරිය 10, ධනංජය ද සිල්වා 07, කමිදු මෙන්ඩිස් 33, කුසල් මෙන්ඩිස් 84, සොනාල් දිනූෂ 11, තරිඳු රත්නායක 10, විශ්ව ප්‍රනාන්දු 00, තයිජුල් ඉස්ලාම් 131/5, නයීම් හසන් 87/3, නහිද් රානා 94/1)
බංග්ලාදේශය දෙවැනි ඉනිම පන්දුවාර 38.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 115 යි – (ශද්මන් ඉස්ලාම් 12, එනමුල් හක් 19, මොමිනුල් හක් 15, නජ්මුල් හොසේන් ශැන්ටෝ 19, මුෂ්ෆිකර් රහීම් 26, ලිටන් දාස් 13*, මෙහෙදි හසන් මිරාස් 11, ධනංජය ද සිල්වා 13/2, ප්‍රභාත් ජයසූරිය 47/2, අසිත ප්‍රනාන්දු 22/1, තරිඳු රත්නායක 10/1)