ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවැති තරගවලදී පිතිකරුවන් සහ පන්දු යවන්නන් රැසක් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ අතර, දිනයේ කැපී පෙනෙනතම පිතිහරඹය වාර්තා කළේ ගාල්ල ක්‍රිකට් සමාජයේ දුල්සිත් දර්ශනයි.
සෙබස්තියනයිට් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජයට එරෙහිව මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී දුල්සිත් පන්දු 153කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර දෙකක් සමඟ නොදැවී ලකුණු 104ක් රැස් කළේය. ඒ අනුව මෙවර ටියර් බී එක්දින තරගාවලියේ ශතකයක් වාර්තා කරන ලද තෙවැනි පිතිකරුවා බවට පත්වීමටද සුල්සිත් සමත්වූවේය.
පළමුව පන්දුවට පහරදුන් සෙබස්තියනයිට් ක්‍රීඩා සමාජය පන්දුවාර 48.4කදී සියලු දෙනා දැවී ලකුණු 204ක් රැස් කළ අතර, ටෙරන් බාස්කරන් ලකුණු 75ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. මාලිංග මලිගස්පේ ලකුණු 30ක් සහ සුදර්ශන් සුබර්නන් ලකුණු 26ක් රැස් කළහ. ගාල්ල ක්‍රීඩා සමාජය වෙනුවෙන් කවිඳු නිර්මාණ ලකුණු 33කට කඩුලු හතරක් දවාගත් අතර චානක දේවින්ද සහ සඳුන් මදුශංක කඩුලු තුන බැගින් දවාගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල ක්‍රීඩා සමාජය පන්දුවාර 41.5කදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 208ක් ලබාගනිමින් කඩුලු අටක ජයක් වාර්තා කළේය. දුල්සිත්ට අනගි සහායක් ලබාදුන් යුතික ද සිල්වා ලකුණු 58ක් රැස් කළ අතර, කෙවින් කොත්තිගොඩ නොදැවී ලකුණු 31ක් ලබා ගත්තේය.
අනෙකුත් තරගවලදී අර්ධ ශතක වාර්තා කිරීමට ටෙරන් බාස්කරන් (75), පැතුම් ඩිල්ශාන් (67), තිමිර මල්ශාන් (63), චාමර ප්‍රනාන්දු (59), අශාන් සුදර්ශන (53), අසේල ගුණරත්න (53), ඒශාන් විතානගේ (55), සනුජ නිඳුවර (51) සහ කවිඳු එදිරිවීර (72) සමත් වූහ.
පන්දු යැවීමේදී යුද හමුදා ක්‍රීඩා සමාජයේ ෂෙහඳ සොයිසා ලකුණු 19කට කඩුලු 5ක් සහ කුරුණෑගල ක්‍රීඩා සමාජයේ සුදාර දක්ෂිණ ලකුණු 44කට කඩුලු 5ක් දවාගනිමින් කැපී පෙනුණහ.
මේ අතර අද පැවැති සෙසු තරගවලදී යුද හමුදා ක්‍රීඩා සමාජය, හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය, මොරටුව ක්‍රීඩා සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රිකට් සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූහ. ඒ අතරින් ගාල්ල ක්‍රීඩා සමාජය කඩුලු 8කින්ද, යුද හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 2කින්ද, හලාවත මේරියන්ස් කඩුලු 4කින්ද ජයගත් අතර, මොරටුව ක්‍රීඩා සමාජය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 134කින්, නාවික හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 28කින් සහ මීගමුව ක්‍රීඩා සමාජය ලකුණු 86කින් ජය වාර්තා කළහ.
ගාල්ල ක්‍රිකට් සමාජයට කඩුලු 8ක ජයක්
සෙබස්තියනයිට් ක්‍රිකට් සමාජය – සියලු දෙනා දැවී 204 (පන්දුවාර 48.4): ටෙරන් බාස්කරන් 75, මාලිංග මලිගස්පේ 30, සුදර්ශන් සුබර්නන් 26. කවිඳු නිර්මාණ 33/4, චානක දේවින්ද 42/3, සඳුන් මදුශංක 35/3
ගාල්ල ක්‍රිකට් සමාජය – කඩුලු 2ක් දැවී 208 (පන්දුවාර 41.5): දුල්සිත් දර්ශන නොදැවී 104, යුතික ද සිල්වා 58, කෙවින් කොත්තිගොඩ නොදැවී 31.
යුද හමුදා ක්‍රීඩා සමාජයට කඩුලු 2ක ජයක්
යුද හමුදා ක්‍රීඩා සමාජය – කඩුලු 8ක් දැවී 280 (පන්දුවාර 50): පැතුම් ඩිල්ශාන් 67, අශාන් සුදර්ශන 53, අසේල ගුණරත්න 53.
මහනුවර රේගු ක්‍රීඩා සමාජය – සියලු දෙනා දැවී 67 (පන්දුවාර 24.4): ෂෙහඳ සොයිසා 19/5, ලිලාන් රංගන 20/3
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට කඩුලු 4ක ජයක්.
එක්සත් දකුණු ක්‍රිකට් සමාජය – සියලු දෙනා දැවී 210 (පන්දුවාර 50): කවිඳු එදිරිවීර 72.
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – කඩුලු 6ක් දැවී 211 (පන්දුවාර 48.5): ඒශාන් විතානගේ 55, අරෝෂ සිතුමිණ 46.
මොරටුව ක්‍රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 134ක ජයක්.
මොරටුව ක්‍රීඩා සමාජය – කඩුලු 9ක් දැවී 268 (පන්දුවාර 41): චාමර ප්‍රනාන්දු 59, ප්‍රමේෂ් මධුභාෂණ 46, පූර්ණ ප්‍රනාන්දු නොදැවී 41.
රාගම ක්‍රිකට් සමාජය – සියලු දෙනා දැවී 110 (පන්දුවාර 26.4): මයුර මල්ශාන් 25/3, මදුසංක ප්‍රේමරත්න 19/3
නාවික හමුදා ක්‍රීඩා සමාජයට ලකුණු 28ක ජයක්
නාවික හමුදා ක්‍රීඩා සමාජය – සියලු දෙනා දැවී 269 (පන්දුවාර 50): තිමිර මල්ශාන් 63, අවිඳු තීක්ෂණ 48.
කුරුණෑගල ක්‍රීඩා සමාජය – කඩුලු 9ක් දැවී 241 (පන්දුවාර 50): සනුජ නිඳුවර 51, නිසංජය හෙට්ටිආරච්චි 35, රුචිර සිල්වා 45/4
මීගමුව ක්‍රිකට් සමාජයට ලකුණු 86ක ජයක්
මීගමුව ක්‍රිකට් සමාජය – සියලු දෙනා දැවී 205 (පන්දුවාර 47): තත්සර ඒශාන් 71, රිශ්ම අමරසිංහ 43, සුදාර දක්ෂිණ 44/5
ලියෝ ක්‍රිකට් සමාජය – සියලු දෙනා දැවී 119 (පන්දුවාර 43.4): අශාන් ප්‍රනාන්දු 35, ගිත්මින් කොළඹගේ 28.





