slc
logo
Home   |    News
ජූනි 17, 2025
මගේ හිඩැස දක්ෂ තරුණයකු පුරවාවි –  මැතිව්ස්

sinhala editor

 2008 වසරේ සිට මේ දක්වා වසර විස්සකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා තමා උපරිම දායකත්වයක් දැක් වු බව පවසන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අඟහරුවාදා (17) බංග්ලාදේශය සමග ආරම්භ වන ප්‍රථම ටෙස්ට් තරගයෙන් පසු සමුගැනීමට තීරණය කළේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට සුදුසුම කාලය මෙය වන බවට හැඟීයාම මත යැයි ද ප්‍රකාශ කරයි.

 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ප්‍රථම වරට ටෙස්ට් තරගයකට සහභාගි වු තමාට පසුව පෞද්ගලිකව සියවන ටෙස්ට් තරගයට සහ සමුගැනීමේ ටෙස්ට් තරගයටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීම සහභාගිවීමට ලැබීම ගැන සතුටු වන බව ද මැතිව්ස් පවසයි.

 බංග්ලාදේශය සමග කොළඹ දී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී තමාගේ ස්ථානය තරුණ ක්‍රීඩකයකුට හිමි වන්නේ නම් වඩා ඵලදායි වනු ඇතැයි ද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

ජ්‍යෙෂ්ඨ පළපුරුදු ක්‍රීඩකයන් විශ්‍රාම ගත්තත් එම හිඩැස් පිරවීමට මෙරට නවක දක්ෂ යෞවන ක්‍රීඩකයන් විශාල පිරිසක් සිටින්නේ යැයි පවසන මේ ප්‍රවීණ ක්‍රීඩකයා, ඔවුන් අතුරින් ළහිරු උදාර, පසිඳු සූරියබණ්ඩාර සහ පවන් රත්නායක වැනි ක්‍රීඩකයන් ඉදිරියේ දී ජාත්‍යන්තරයේ දී ශ්‍රී ලංකාවට ගෞරව ගෙන එනු ඇතැයි ද කියයි.

“2008 වසරේ සිට 2015 තෙක් තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට දායක වුවා. 2016 වසරේ සිට මට අවශ්‍ය වුයේ පන්දුවට පහරදීමේදීත් පන්දු යැවීමේදීත් උපරිම දක්ෂතා පෙන්වා සහභාගි වන සියලු තරග ජය ගැනීමටයි. මා හට පසුව ආබාධයන්ට ලක්වීමටත් එයම හේතුවක් ද වුවා“.

 “මා ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළී සිටි වසර කිහිපය අතුරින් ස්වර්ණමය අවස්ථාවන් ලෙස මගේ මතක සටහන් වන්නේ 2010 වසරේ මෙල්බර්න්හි දී ඔස්ට්‍රේලියාව පරාජය කිරීම, 2014 දී එංගලන්තයේ දී එංගලන්තය පරාජයට පත් කිරීම. එම වසරේ දී ම විස්සයි 20 ලෝක කුසලානය සහ ආසියානු කුසලානය දිනා ගැනීම සහ 2016 වසරේ ශ්‍රී ලංකාවේ දී ප්‍රබල ඔස්ට්‍රේලියාව තරග 3 – 0 කින් පරාජය කිරීමයි“.

 “මේ අවස්ථාවේ මා හට මතකයට පිවිසෙන ඉතා වැදගත් ක්‍රීඩක පිරිසක් සිටිනවා. මා පාසලෙන් ඉවත් වන අවධියේ රූපවාහිනියෙන් නිතර නරඹන ක්‍රිකට් වීරයන් එකම ක්‍රීඩාගාරයක දී මුණගැසීම දෛවෝපගතයි. සනත්, මුරලි, සංගක්කාර, මහේල, චමින්ද වාස්, දිල්ෂාන් සහ සමරවීර වැනි ක්‍රීඩකයන් පළමු දින කිහිපයේ එකම ක්‍රීඩාගාරයක මුණගැසෙන විට මා හට විශාල අමුත්තක් සහ චකිතයක් ද දැනුණා. පසුව ඔවුන් මට ලබාදුන් උපදෙස් සහ සහාය අනාගතයේ දී මා හට බෙහෙවින්ම උපකාරී වු අයුරු මට මතකයි. ක්‍රිකට් ක්ෂේත්‍රයේ මගේ නැගී සිටීම්, වැටීම් සිදු වන සෑම අවස්ථාවකම මට අතහිත දීමට ඔවුන් සිටියා“.

“මා මීට පෙරත් බංග්ලාදේශය සමග කිහිපවරක්ම තරග කර තිබෙනවා. ඔවුන් සමග වාද විවාදත් ඇති වුවා. ඒ සියල්ල ක්‍රීඩාංගණයට සහ එම අවස්ථාවන්ට පමණක් සීමා වු සිදුවීම් පමණයි. කණ්ඩායම් දෙකේම අප සියල්ලෝම මිත්‍රයෝයි“.

 “අපගේ වත්මන් ක්‍රිකට් ක්ෂේත්‍රය ඉතා හොඳයි. තේරීම් කමිටුව, පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් අතර සමීප වු හොඳ සබඳතාවයක් පවතිනවා. ඒ වගේම තරුණ ක්‍රීඩකයන් රැසක්ම ජාතික කණ්ඩායම් නියෝජනය කිරීමට සුදුසු අයුරින් පසුවනවා. High Performance Center (කුසලතා වර්ධන අධිතාක්ෂණ කේන්ද්‍රය) තරුණ ක්‍රීඩකයනට කුසලතා දියුණු කර ගැනීමට ඉතා සුදුසු කාලෝචිත ස්ථානයක්“.

 “ඇන්ජලෝ මැතිව්ස් නමින් ක්‍රිකට් ක්‍රීඩකයකු අද මෙරටින් බිහිව සිටින්නේ විශාල පිරිසකගේ දායකත්වයත් මතයි. මගේ දෙමාපියන් වැඩිමහල් සොහොයුරා සහ නංගීත් මරදාන සාන්ත ජෝශප් විදුහල, එහි විදුහල්පති තුමා, පුහුණුකරුවන්, ගුරුවර ගුරුවරියන් මට අධ්‍යාපනය පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවේ දොරටු ද විවෘත කර දුන්නා. ක්‍රිකට් ක්‍රීඩාව මත මා වසර දහයක් පමණම නිතර ගත කළේ විදේශ රටවලම කීවොත් එය නිවැරදියි. මගේ බිරිඳ සහ දරුවන් එම කාලයේ විශාල කැපකිරීමක් කළා. මගේ බිරිඳ විශාල පීඩනයකට හොඳින් මුහුණදීම මා හට සාර්ථකවීමට විශාල පිටුවහලක් ද වුවා. එදා සිට අද වනතුරු ක්‍රීඩා කරන කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ද මගේ මතකයේ සැමදා පවතිනවා“.

 තමාගේ මීළඟ අරමුණ තව මාස හයකින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මීළඟ විස්සයි 20 ලෝක කුසලානය තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කර මව්බිමට ගෞරවයක් ගෙන දෙමින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සම්පූර්ණයෙන්ම  ඉවත්වීම යැයි ද ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළේය.

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee