slc
logo
Home   |    News
ජූනි 17, 2025
මැතිව්ස්ගේ සමුගැන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් රත්තරණින් සරසයි

sinhala editor

පුරා වසර 16 කට අධික කාලයක් ජාත්‍යන්තර ටෙස්ට් කිකට් බිමේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස්ගේ 119 වැනි ටෙස්ට් තරගය හෙවත් ඔහු ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කිරීමට දක්නට ලැබෙන අවසාන තරගය වූ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව අද (17 දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ගෞරවනීය උඵහාර දැක්වීමේ චාම් උත්සවයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ මඟ පෙන්වීම යටතේ උප සභාපති ආචාර්යය ජයන්ත ධර්මදාස සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උපහාර දැක්වීමේ සුවිශේෂී අවස්ථාව අද පෙරවරුවේ තරගය ආරම්භයට මොහොතකට පෙර සිදුකෙරිණ. මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි පැමිණි ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා විසින් ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදුකරන ලද සේවය අගයා රත්‍රනිං නිම කරන ලද විශේෂ සිහිවටනයක් ප්‍රධානය කරනු ලැබීය. මැතිව්ස් එම සිහිවටන ලබාගන්නා අවස්ථාවේදී ඔහුගේ දරුවන් සිව් දෙනාද ඔහු සමගින් එම අවස්ථාවට සහභාගිවීම කැපී පෙනිණ. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිර්මාණය කරන ලද සමරු ඵලකය ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා විසින් පිරිනැමුවේය. මෙම අවස්ථාවට මැතිව්ස්ගේ ආරාධනයෙන් පවුලේ සාමාජිකයින්, හිතවතුන් මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් සහභාගිව සිටියහ.

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය තම වසර 16 ක ටෙස්ට් තරග දිවියේ අවසන් ටෙස්ට් තරගය වන බව ඇන්ජලෝ මැතිව්ස් මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබුණි. මැතිව්ස් වසර 2009 ජූලි 04 වැනිදා සිය මංගල ටෙස්ට් තරගයට සහභාගිවූයේ පාකිස්තානයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී වන අතර ඔහුගේ ටෙස්ට් දිවියේ සුවිශේෂී කඩ ඉමක් වූ 100 වැනි ටෙස්ට් තරගයටද 2022 වසරේදී සහභාගිවූයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීය. එමෙන්ම තම ටෙස්ට් තරග දිවියේ අවසානය සනිටුහන් කෙරෙන ටෙස්ට් තරගයටද ගාල්ලේදී ක්‍රීඩා කිරීමට මැතිව්ස්ට හිමිවීම දෛවෝපගත දුර්ලභ සිදුවීමක් ලෙස සඳහන් කළ හැක. මංගල ටෙස්ට් තරගය, ක්‍රිකට් දිවියේ සියවැනි ටෙස්ට් තරගය මෙන්ම සමුගැන්මේ තරගය එකම ක්‍රීඩාංගණයක ක්‍රීඩා කරන ලද ටෙස්ට් ක්‍රීඩකයින් කිහිප දෙනා අතර මැත්ව්ස්ගේ නාමයද සනිටුහන් වනු ඇත.

38 හැවිරිදි වියේ පසුවන මැතිව්ස් 2013 වසරේදී ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වූ අතර අනතුරුව සුවිශේෂී ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඔහුගේ නායකත්වය යටතේ හැකියාව ලැබිණ. නායකත්වය ලබා දුන් තරග 32 කින් ජයග්‍රහණය 13 ක් ලබා දීමට මැතිව්ස්ගේ නායකත්වයට හැකියාව ලැබිණ. ඒ අතරට 2016 වසරේදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී සහභාගිවූ තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී ලද පූර්ණ තරගාවලි ජයග්‍රහණයද ඇතුළත්වය.

දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් තම ජාත්‍යන්තර තරග දිවියට මැතිව්ස් පණ පෙවුවද කාලයත් සමඟ ඇතිවූ ආබාධයන් හේතුවෙන් ඔහු ප්‍රමුඛත්වයක් ලබා දුන්නේ පන්දුවට පහර දීමටය. විශේෂඥ පිතිකරුවකු ලෙසින් ඵලදායී කාර්ය භාරයක් ඉටු කළ මැත්ව්ස්ගේ සුවිශේෂීම කාල සමය ලෙසින් 2014 වසර හැඳින්විය හැකිය. එම වසර ඇතළත ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 77.33 ක් රඳවා ගනිමින් ලකුනු 1160 ක් රැස් කර ගත්තේ හෙඩිංග්ල්හිදී ලබා ගත් ආකර්ෂණීය ලකුණු 160 ක වටිනා ඉනිමද සමඟිනි. මෙම ඉනිම ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමු වතාවට එංගලන්ත කණ්ඩායම එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියකදී පරාජයට පත් කිරීමට ප්‍රධාන දායකත්වයක් ලබා දුන් ඉනිමක් ලෙසින් හැඳින්විය හැක. (ශ්‍රී ලංකාව මීට පෙර 1998 වසරේදී එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග ජයග්‍රහණයක් ලබා තිබුණද ඒ එක් තරගයකින් යුත් තරගාවලියක් විය.)

කෙසේ වෙතත් 2017 වසරේදී සිම්බාබ්වේට එරෙහිව පැවැති තරගාවලියේදී නායකයකු ලෙසින් කැපී පෙනෙන කාර්යය භාරයක් ඉටු කිරීමට මැතිව්ස් අපොහොසත්වීම නිසා ඔහු නායකත්වයෙන් ඉල්ලා අස්වූවේය.

සිය සමුගැන්ම සටහන් කෙරෙන අවසන් ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් දිනාගත් ළහිරු උදාරට, එය සංඛේතවත් කිරීම වෙනුවෙන් ලබා දෙන කැප් තොප්පිය ඇන්ජලෝ මැතිව්ස් විසින් ලබා දීමද ඔහුගේ සමුගැන්මට තවත් වටිනාකමක් එක් කරන්නක් වූවේය.

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee