යුනිචෙලා සහ සරසන්ස් ක්‍රීඩා සමාජ අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ දී අද (14) පැවැති “ගවනර්ස් කප්“ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීමෙන් තරගය අතරමග නවතා කණ්ඩායම් දෙකම සම සූරයන් ලෙසට නම් කැරිණි.
පන්දුවාර 50කට සීමා වූ මේ තරගයේ 22 වන පන්දු වාරයේ දී වර්ෂාවෙන් බාධා ඇතිවීමෙන් තරගය නතර කර නැවත ආරම්භ වුයේ කණ්ඩායමකට පන්දුවාර 40ක් ලැබෙන පරිදිය.
කාසියේ වාසිය දිනු යුනිචෙලා කණ්ඩායම තීරණය කළේ මුලින් පන්දුවට පහරදීමටය. පන්දුවාර 21.1ක දී යුනිචෙලා කඩුලු තුනකට ලකුණු 91ක් ලබා සිටිය දී වර්ෂාව පතිත වී තරගය නතර කිරීමට සිදුවීමෙන් නැවත තරගය ආරම්භ වුයේ කණ්ඩායමකට පන්දුවාර 40ක් හිමි වන අයුරිනි. පන්දුවාර 40 නිම වන විට යුනිචෙලා කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 200කි.
‘ඩක්වර්ත් ලුවිස්‘ න්‍යාය අනුව මේ තරගයෙන් ජය ලැබීමට සරසන්ස් කණ්ඩායමට පන්දුවාර 40ක දී ලකුණු 206ක් අවශ්‍ය වුවත් වර්ෂාව මත සවස 3.30ට තරගය නැවත නතර කරන විට ඔවුන් කඩුලු හතරක් දැවී රැස් කර සිටියේ ලකුණු 44ක් පමණකි. ඇඳිරි කාලගුණය සහ වර්ෂාව මත නැවත තරගය ආරම්භ නොවු අතර කණ්ඩායම් දෙකම සම සූරයන් ලෙස නම් කැරිණි. (සවස 4.40ට)
2025 ගවනර්ස් කුසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කුරුණෑගල ක්‍රීඩා සමාජයේ නිසංජය හෙට්ටිආරච්චි නම් කැරිණි. තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස සරසන්ස් ක්‍රීඩා සමාජයේ ගැවින් බොතේජු සහ තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස යුනිචෙලා ක්‍රීඩා සමාජයේ දිල්ෂාන් මෙන්ඩිස් තිළිණ ලැබීය.
අද (14) උදෑසන කාසියේ වාසිය උරගා බැලීමේ දී එය දිනාගත් යුනිචෙලා නායක රත්සර විතාන තීරණය කළේ මුලින්ම පන්දුවට පහරදීමටය.
යුනිචෙලා කණ්ඩායම පන්දුවට පහරදීමේ කැපී පෙනුණු පිතිකරුවන් වුයේ අංක පහ පිතිකරු තරිඳු දිලංක ලකුණු 63ක් ද (පන්දු 53යි හතරේ හතරයි හයේ දෙකයි) ආරම්භක පිතිකරු අංක එක කළණ සංදීප ලකුණු 37ක් ද (පන්දු 54යි හයේ තුනයි) අංක තුන පිතිකරු ගිම්හාන් ආශිර්වඩන ලකුණු 33ක් ද (පන්දු 50යි හතරේ දෙකයි හයේ දෙකයි) අංක හතර පිතිකරු තේනුක දේවප්‍රිය ය. ලකුණු 30ක් ද (පන්දු 50යි හතරේ දෙකයි හයේ පහරයි)
හොඳම සබඳතා වුයේ දෙවන කඩුල්ලට කළණ සංදීප සහ ගිම්හාන් ආශිර්වඩන එක් කළ ලකුණු 58ක සබඳතාවයත් සිව්වන කඩුල්ලට තරිඳු දිලංක සහ තේනුක දේවප්‍රියගේ ලකුණු 39ක සබඳතාවයත්ය. සරසන්ස් කණ්ඩායමේ දක්ෂතම පන්දු යවන්නා වු කමල රාසන් අයියර් ලකුණු 35කට කඩුලු දෙකක් දවාලුවේය.
සරසන්ස් පන්දුවට පහර දෙද්දී යුනිචෙලා කණ්ඩායමේ දිල්ෂාන් මෙන්ඩිස් ලකුණු 14කට ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනකුම දවාලීමෙන් තරගය නතර කරන විට සරසන්ස් කඩුලු 4ක් දැවී රැස් කර සිටියේ ලකුණු 44ක් පමණි. (පන්දුවාර 9.1යි)
සරසන්ස් නායක විනුජ රණසිංහ පන්දු 23ක දී හතරේ තුනක් හයේ පහරක් සමග ලකුණු 23ක් ලැබීය.
තරග විස්තරය
යුනිචෙලා පන්දුවාර 40දී කඩුලු 7ට 200යි
(තරිඳු දිලංක 63, කළණ සංදීප 37, ගිම්හාන් ආශිර්වඩන 33, තේනුක දේවප්‍රිය 30, කමල රාසන් අයියර් 35/2, අචල පෙරේරා 12/1, ඔමේෂ් උදාර 27/1, රශ්මික මෙවන් 27/1)
සරසන්ස් කඩුලු 4ට 44යි (පන්දුවාර 9.1යි)
(විනුජ රණසිංහ 23, රශ්මික මෙවන් 08, ගැවින් බොතේජු නොදැවී 06, දිල්ෂාන් මෙන්ඩිස් 14/3, ධනුෂ්ක රණසිංහ 22/1යි)