බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී අද (25 දා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් දිනා ගැනීමට තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ සමත්වූවේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 170 වැනි ක්‍රීඩකයා බවට පත් වුණු සොනාල්” ටෙස්ට් වරම් හිමිවීම වෙනුවෙන් සංඛේතාත්මකව පිරිනැමෙන ටෙස්ට් හිස්වැස්ම කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් විසින් පිරිනමන ලදී.
වමතින් දඟ පන්දු යවන සොනාල් වමතින්ම පිත්ත හසුරුවනු ලබයි. සී.සී.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන සොනාල් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබේ. මේ වන විටත් පළමු පෙළ තරග 48 කට ක්‍රීඩා කර ඇති සොනාල් කඩුලු 99 ක් බිඳ හෙළීමට සමත්ව සිටින අතර පිත්තෙන් ලකුණු 2478 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියි.
ඔහුගේ නම ඉදිරියෙන් සටහන්ව ඇති ශතක සංඛ්‍යාවකි 7 කි. පිතිකරණයේදී ඉනිමක සාමාන්‍ය 40.62 ක් රඳවා තබා ගැනීමට සමත් කඩුල්ලක් දවා ගැනීමේදී 24.79 සාමාන්‍යයක් රඳවාගෙන සිටියි.
අවසන් වතාවට ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ කරන ලද තරග සංචාරය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට සොනාල් දිනූෂ ඇතුළත්ව සිටියද තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමිවිය.
අද තරගයේ කාසියේ වාසිය යළිත් තමන් සතු කරගත් බංග්ලාදේශ නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. අද තරගය සඳහා දෙපිළම වෙනස්කම් දෙකක් සමගින් අවතීර්ණව සිටිති. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නන් දෙදෙනකු සහ දඟ පන්දු යවන්නන් දෙදෙනකු සමඟින් අවතීර්ණව සිටිති. ගාල්ල තරගයට ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් සහ මිලාන් රත්නායක වෙනුවට අද තරගයේදී පිළිවෙළින් සොනාල් දිනූෂ සහ විශ්ව ප්‍රනාන්දු ක්‍රීඩා කරති. බංග්ලාදේශය වෙනුවෙන් පළමු තරගයට ක්‍රීඩා කළ ජේකර් අලී මෙහෙදි හසන් මිරාස් සහ එබොදත් හොසේන් එක්ව සිටිති.