සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තීරණාත්මක දෙවැනි ටෙස්ට් තරගය හෙට (25) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පෙරවරු 10ට ආරම්භ වේ. ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය පිතිකරුවන්ගේ පාරාදීසයක් බවට පත්වෙමින් ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර, මේ හේතුවෙන් සිය උපරිමය ලබාදී ජයග්‍රහණයක් සෙවීමට දෙපිලම ප්‍රබල උත්සහයක නිරත වේ.
ගාල්ලේ නිමාවූ පළමු ටෙස්ට් තරගයෙන් පසු ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදුන් බැවින් ඔහු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන සොනාල් දිනූෂට මේ තරගයේ හොඳ අවස්ථාවක් ඇතැයි අද එස.එස්.සී. පිටියේ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පැවැසීය. එස්.එස්.සී. තණතිල්ල පිතිකරුවන්ට යෝග්‍ය වනු ඇතැයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ විශ්වාසය වන අතර, මේ හේතුවෙන් වේග පන්දු යවන්නන් තිදෙනකු හා දඟ පන්දු යවන්නන් දෙදෙනකු ක්‍රීඩා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බව සඳහන් කළේය. ඒ පිළීබඳ අවසන් තීරණය තරගය ආරම්භ කිරීමට පෙර ප්‍රකාශයට පත් කරන බවද ධනංජය ද සිල්වා සඳහන් කළේය.
“සොනාල් දිනූෂට දෙවැනි ටෙස්ට් තරගයේ හොද අවස්ථාවක් තියෙනවා. ඇන්ජලෝ ක්‍රීඩා කළ අංක 4 ස්ථානයේ මා පන්දුවට පහරදීමට කටයුතු කරනවා. අපි සොයා බැලුවා ඉතිහාසයේ ඉදලා අපේ වේග පන්දු යවන්නන් බංග්ලාදේශය සමඟ හොදින් කඩුලු ලබා තියෙනවා. එස්.එස්.සී. තරගයේදී වේග පන්දු යවන්නන් තිදෙනකු යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ගාලු තරගයේදී අපේ වේග පන්දු යවන්නන්ගෙන් ලොකු වැරදි වුණේ නෑ. ඔවුන් හොඳින් පන්දුවට පහර දුන්නා. අපිත් ඔවුන්ට කිට්ටු කළා. හෙට උදේට තණතිල්ල බලලා අවසන් තීරණය ගන්නවා“ ධනංජය පැවැසීය.
තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ හා විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට එක් කිරීමට ඊයේ ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත් අතර, දුනිත්ගේ පැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයා පැහැදිලි කිරීමක් කළේය.
“නිමාවට පත්වූ දේශීය තරගවලදී වෙල්ලාලගේ හොදින් දස්කම් දැක්වූවා. ඔහු වෘත්තීය මට්ටමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස එන්න එන්නම දස්කම් දක්වන නිසා ඔහු ගැන අවධානකය යොමු කළ එක හොදයි. එක්දින තරගවලදී වගේම ටෙස්ට් වලදී දුනිත්ගෙන් හොඳ සේවයක් ගන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා. මේක තේරීම් කමිටුව ගත් හොඳ තීරණයක්“ ධනංජය පැවැසීය.
“පිතිකරුවන්ට යෝග්‍ය එස්එස්සී තණතිල්ල අවසන් දිනයේ දඟ කැවෙන තත්ත්වයකට පත්වෙනවා. අපි පළමු ඉනිමේ හොඳ ලකුණු ගණනක් අරන් බංග්ලාදේශයට පීඩනයක් දෙන්න සැලසුම්කොට තිබෙනවා“ ධනංජය ද සිල්වා පැවැසීය.
වේග පන්දු යවන්නන් තිදෙනකු ක්‍රීඩා කළහොත් වඩාත් පළපුරුදු වමත් වේග පන්දු යවන්නකු වන විශ්ව ප්‍රනාන්දු සමඟ අසිත ප්‍රනාන්දු හා කසුන් රාජිත ක්‍රීඩා කිරීමේ ඉඩකඩ විවර කරගෙන සිටිති.
ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් සංචිතයට පැතුම් නිශ්ශංක, ඔෂධ ප්‍රනාන්දු, ළහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, පසිදු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, දුනිත් වෙල්ලාලගේ, පවන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, තරිදු රත්නායක, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු හා ඉසිත විජේසුන්දර නම් කර තිබේ.
මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහිව අද ආරම්භවන ටෙස්ට් තරගයට දකුණතින් පිට දඟ පන්දු යවන මෙහෙඩි හසන් මිරාස් කැඳවා ඇති බවත්, ඔහු ලෝකයේ හොඳම දෙවැනි තුන් ඉරියව් ක්‍රීඩකයා බැවින් විශාල සේවයක් අපේක්ෂා කරන බව බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස් මහතා පැවැසීය.
“පසුගිය ගාල්ල තරගයෙන් අපේ කණ්ඩායම විශාල විශ්වාසයක් ගොඩනඟා ගත්තා. බොහෝ විට අපි පළමු ටෙස්ට් තරගයේදී ටිකක් මන්දගාමී වුණත් මේ තරගයේදී ආරම්භයේ සිටම හොඳින් ක්‍රීඩා කරයි කියා විශ්වාස කරනවා. කණ්ඩායමේ සෑම කෙනෙකුටම විශ්වාසයක් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා පිල අඩුවෙන් තක්‍සේරු කළ යුතු කණ්ඩායමක් නොවෙයි” සිමන්ස්ගේ අදහස විය.