slc
logo
Home   |    News
ජූලි 7, 2025
දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස

sinhala editor

පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ හැරිණ. හෙට (08 වැනිදා) පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට බෙහෙවින්ම වැදගත් වන්නේ තරගාවලියේ ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද යන්න එය තරගයේ ප්‍රතිඵලය මත තීරණය වන බැවිනි. එබැවින් හෙට තරගය දෙපිළටම තීරණාත්මක කඩඉමක් බවට පත්ව තිබේ.

නවක ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත්ව සිටින බංග්ලාදේශ කණ්ඩායම ලබාගත් දෙවැනි තරග ජයග්‍රහණයත් සමඟ ඔවුන්ගේ විශ්වාසය මේ වන විට ඉතා ඉහළ මට්ටමකට පැමිණ තිබේ. එබැවින් එය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිරේක පීඩනයක් ද ගෙන දෙනු නොඅනුමානය. මන්ද යත් දෙරට අතර මෙතෙක් ශ්‍රී ලංකාවේ පවත්වා ඇති එක්දින තරගාවලි 11 හේ ඉතිහාසයේදී බංග්ලාදේශ කණ්ඩායමක් හමුවේ ශ්‍රී ලංකාව එක්දින තරගාවලි පරාජයක් ලබා නොමැති බැවිනි. ඊටත් අමතරව කොළඹ පැවැති දෙවැනි තරගයට පෙර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි සිව්වැනි ස්ථානයේ සිට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පිල හෙට තරගයට අවතීර්ණ වන්නේ එහි පස්වැනි ස්ථානයේ සිටගෙනය.

මෙවන් හේතූන් රාශියක් හමුවේ අද (07 වැනිදා) පස්වරුවේදී ශ්‍රී ලංකාව ලතවෙමින් සිටි ප්‍රධානම ගැටලුව වූයේ හෙට තරගයට ක්‍රීඩා කරන්නේ කුමන සංයුතියෙන් යුක්තව යන වග පිළිබඳවය. ඒ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු වන තිළිණ කණ්ඩබ්මි පවා සඳහන් කර සිටියේ ගෙවී ගිය දින දෙකේදීම ඒ පිළිබඳව කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කළ බවයි.

“ඇත්තටම ප්‍රතිවාදියා දිහා බලලා කණ්ඩායම තෝරනවා නම් මං හිතනවා වේග පන්දුව යවන්නන් වැඩිපුර තියෙන එක හොඳයි කියලා. හැබැයි අපේ ඉන්න ක්‍රීඩකයින් ඉතාමත් හොඳින් කරලා තියෙනවා. එතකොට ඒ ක්‍රීඩකයින්වත් එළියේ තියන්න ලේසි නෑ. ඇත්තටම අපි පළවැනි තරගයෙත් අපි දුනිත්ව එළියෙන් තියන්න ටිකක් අමාරු තීරණයක් ගත්තේ. හැබැයි අපි බලාපොරොත්තු වෙච්ච කඩුල්ල නොවෙයි අපිට ලැබුණේ. ඉතිං ඒකත් එක්ක අපි ඒ වරද හදාගෙන ආයි වෙනස් වුණා. ආයි මෙහෙට ආවමත් විකට් එකේ බෝල් එකන විදියට. රෑට පන්දුවේ ඉපිලීම සහ දෝලනයවෙනවාද කියන එක බලලා තමයි ඒ තීරණ ගන්න ඕන“ යැයි කණ්ඩම්බි සඳහන් කර සිටියේය.

කොළඹ සිට පල්ලේකැලේ වෙත පැමිණෙන විටද් තුන් ඉරියව් ක්‍රීඩකයාගේ ස්ථානය දුනිත් වෙල්ලාලගේ වෙනුවෙන් වෙන් කර තිබුණද තණතීරුවේ ස්වභාවය අනුව කණ්ඩායම් කළමනාකාරීත්වය හෙට තරගයේදී වෙල්ලාලගේව ක්‍රීඩා කරනවාද නැතහොත් වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායකවද ක්‍රීඩා කරවනවාද යන්න වග පසුවන්නේ දෙලොවක් අතරය.

බැලූ බැල්මට මොවුන් දෙදෙනාම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයින් වුවත්, අවස්ථානුකූලව ක්‍රීඩා කිරීමේදී මිලාන්ට වඩා දුනිත් ඉදිරියෙන් පසුවෙයි. එහෙත් පිතිකරණ පුහුණුකරු පවසන අන්දමට විකල්පයක් පිළිබඳව අවධානය යොමු කරන්නේ නම් “අපිට තියෙන්නේ එක විකල්පයි. වෙල්ලාලගේ වගේ ක්‍රීඩකයෙක් වෙනුවට තව වේග පන්දු යවන්නෙක් ගේනවද කියන එක විතරයි“ යැයි සඳහන් කර සිටියේය.

කොළඹ තරගය පිළිබඳව අවධානය යොමු කිරීමේදී බංග්ලාදේශ පිලේ දඟ පන්දුයවන්නන් තිදෙනා ඔවුන්ගේ කාර්යය භාරය ඉතා හොඳින් සිදු කළහ. එබැවින් දඟ පන්දු යවන්න්නට යෝග්‍ය තණතීරුවක සකස් කළහොත් තමන්ට සිදුවිය හැකි අලාභය කොපමණද යන්න ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ වැටහීමක සිටියි.

“කොළඹ තණතීරුව එක්ක බැලුවහම මේක වෙනස්ම තණතීරුවක්. අපි ඒ ගැන කතා කතා කළා. බංග්ලාදේශ දඟ පන්දු යවන්නන් තුන්දෙනාම ඉතාම හොඳින් තරගයේ මැද හරියෙදි පන්දු යැව්වා. අපිට ඒ වෙනුවෙන් තියෙන විකල්ප ගැන අපි කතා කළා. අපි ඒ දෙවල් හෙට තරගයේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා“ යැයි කණ්ඩම්බි සඳහන් කර සිටියේය.

එබැවින් හෙට තරගයේදී වේග පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරුවක් සකස් කරමින් මිලාන් රත්නායකව ක්‍රීඩා කරවුවහොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත.

“විකට් එක දිහා බලපු විදියට නම් ගොඩක් බැටිං පැත්තට හොඳ වෙයි කියලා හිතනවා. පන්දුවේ ඉපිලීමකුත් තියෙයි කියලා විශ්වාස කරනවා. මොකද පල්ලේකැලේ අන්තිමට අපි ගහපු තරග බැලුවහම පිතිකරුවන්ට ටිකක් යෝග්‍ය තණතිලි තමයි ලැබුණේ. ඉතිං ඒ වගේ තණතිල්ලක් පේන්න තියෙනවා. මං හිතනවා බැට්මන්ලා කරපු වැරදි හදාගෙන මේකෙ හොද ෆයිට් එකක් දීලා ස්කෝර් එකක් දායි කියලා“ යැයි කණ්ඩම්බි වැඩිදුරටත් පැවැසීය.

මේ අතර දෙවැනි තරගයේදී පන්දු 20 න් අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් කුසල් මෙන්ඩිස්ගේ දක්ෂතාවය පිළිබඳව පිතිකරණ පුහුණුකරුවාගෙන් මාධ්‍යවේදීන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමකදී, කණ්ඩායම සතු දක්ෂතම පිතිකරුවා වන කුසල් මෙන්ඩිස්ට මීට වඩා දෙයක් කළ හැකි බවද කණ්ඩම්බි අවධාරණය කර සිටියේය. ඔහු සදහන් කර සිටියේ මෙතෙක් දක්වතා ඇති දක්ෂතාවලට සාපේක්ෂව ඔහුට ඊට වඩා වැඩි දක්ෂත්වයක් දැක්විය හැකි පිතිකරුවකු බවයි. එය ඔහුගේ වචනවලින්ම සඳහන් කර සිටියේ මේ අයුරිනි.

“මං හිතන්නේ කුසල් ඉතා හොඳ ආරම්භයක් අරන් දුන්නා. ඒක ගැන කිසිම කතාවක් නෑ, හැබැයි කුසල් කියන්නේ දැන් ඉන්න පරිණත ක්‍රීඩකයෙක්. මං හිතනවා එයා ගහලා තියෙන ක්‍රිකට් ඇති කියලා. ඒක තේරුම් අරගෙන එයා ලොකු ඉනිමකට පරිවර්තනය කරගන්න ඕන. මොකද එයා සීයක් ගහනවා කියන්නේ අපි තරගය සීයට 95 ක් ජයග්‍රහණය කරනවා කියන එක. ඒක එයත් දන්නවා. ඒක අපි එයත් එක්කත් ඇති වෙන්න කතා කරලා තියෙනවා.  ඊයේ වුණත් කතා බහට ලක් වුණාහමත් මං කිව්වේ මං වෙනදට කිව්ව දේම තමයි මං ආයි කියන්නේ කියන එක. ඉතිං ඒක එයාගේ අතේ තියෙන්නේ. මොකද මේ වගේ ෆෝම් එකක ඉන්නකොට හරි අපරාධයක් ලකුණු 40 ක් 50 ක් ගහලා අවුට් වෙන එක. මොකද ලකුනු 150 ක් 200 ක් ගහන්න පුලුවන් ක්‍රීඩකයෙක්. ඒක එයා දන්නවා ඉතිං එයාගේ අතේ තියෙන්නේ. අපි කරන්න අවශ්‍ය දේවල් රොටේට් කරන්න ඕන විදිය අපි කතා කරලා තියෙනවා මීට ඉස්සෙල්ලත්’ යනුවෙනි.

මුස්තෆිසූර් රහ්මාන් සහ තන්වීර් ඉස්ලාම්ගේ පන්දුවාරයකට ලකුණු 17 බැගින් ලබා ගත් මෙන්ඩිස්ගේ වේගවත් පිතිහරඹය නිසා ශ්‍රී ලංකාව සාර්ථක හඹා යෑමකට ප්‍ර වේශයක් ලබාගත්තේය. නමුත් ඔහුගේ දැවී යෑමත් තරගයේ හැරවුම් ලක්ෂය බවට පත්විය. එහිදී ශ්‍රී ලංකාවේ ලකුණු හඹා යෑමේ වේගය සැලකිය යුතු මට්ටමින් මන්දගාමී වූවා පමණක් නොව අවසානයේ තරගය පරාජයට පත්වීමටද සිදුවිය.

මෙහිදී වැඩිදුටත් අදහස් දක්වා සිටි කණ්ඩම්බි තම කණ්ඩායමට පැවැරී ඇති වගකීම නිසියාකාරව සිදුකළහොත් කිසිදු කණ්ඩායමකට ළංවිය නොහැකි ස්ථානයක් කරා යා හැකි වන බවයි. “අපි දන්නවා අපේ ක්‍රීඩකයින්ගේ ගේම් එක ගහන්න පුලුවන් නම් අනිත් කණ්ඩායම් වලට වඩා සෑහෙන්න හොඳ තැනක ඉන්නවා. අපි ඒක තමයි ලොකුවටම ෆෝකස් කරන්නේ. මම හිතනවා ඒ ක්‍රියාවලිය හරියට කරොත් අපිට ළංවෙන්න කාටවත් බෑ කියලා“ යනුවෙනි.

වේග පන්දු යවන්නන්ට දක්වනු ලබන සහයෝගය හේතුවෙන් හෙට තරගයේදී බොහෝ විට දෙවැනි තරගයේදී විවේක ගන්වන ලද බංග්ලදේශ පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂා කළ හැක. එසේ වුවහොත් දෙවැනි තරගයට ක්‍රීඩා කළ හසන් මහමූද්ට තම ස්ථානය අහිමිවනු ඇත.

අනුමාන කළ හැකි කණ්ඩායම්

ශ්‍රී ලංකාව – 1. නිශාන් මධුෂ්ක, 2 පැතුම් නිශ්ශංක, 3 කුසල් මෙන්ඩිස්, 4 කමිඳු මෙන්ඩිස්, 5 චරිත් අසලංක (නායක), 6. ජනිත් ලියනගේ, 7. මිලාන් රත්නායක, 8. වනිඳු හසරංග, 9. මහේෂ් තීක්ෂණ, 10. දුෂ්මන්ත චමීර, 11. අසිත ප්‍රනාන්දු.

බංග්ලාදේශය – 1. ටැන්සිඩ් හසන්, 2. පර්වේස් හොසේන් එමොන්, 3. නජ්මුල් හොසේන් ෂැන්ටෝ, 4. තව්හිඩ් රිඩෝයි, 5. මෙහීඩි හසන් මිරාස් (නායක), 6. ෂමිම් හොසේන්, 7. ජේකර් අලි, 8. ටැන්සිම් හසන්, 9. ටස්කින් අහමඩ්, 10. ටන්වීර් ඉස්ලාම්, 11. මුස්ටෆිසූර් රහ්මාන්.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar