slc
logo
Home   |    News
ජූලි 23, 2026
පාකිස්තාන කාන්තා පිලේ ශ්‍රී ලංකා සංචාරය හම්බන්තොටදී

sinhala editor

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරග 3කින් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3කින් සමන්විත තරගාවලිය ජූලි මස 23 වැනිදා සිට හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

මෙම සංචාරයේ සියලුම එක්දින තරග එකම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, එක්දින තරගාවලියේ පළමු තරගය අද (23) පැවැත්වේ. දෙවැනි සහ තෙවැනි එක්දින තරග පිළිවෙළින් ජූලි 25 සහ 28 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.

දෙරට කාන්තා කණ්ඩායම් මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 34කදී එකිනෙකා හමුවී ඇති අතර, ඉන් තරග 22ක ජය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. පාකිස්තානය තරග 11ක් ජයගෙන ඇති අතර, 2025 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැති තරගය විසඳුමකින් තොරව අවසන් විය.

මෙවර පාකිස්තාන එක්දින කණ්ඩායමේ නායකත්වය 24 හැවිරිදි දකුණත් මඳ වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන ෆාතිමා සනා වෙත හිමිව තිබේ. ඇය මේ වනවිට එක්දින ජාත්‍යන්තර තරග 61කට සහභාගි වී කඩුලු 82ක් දවාගෙන ඇති අතර, විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 63කදී කඩුලු 59ක් දවාගෙන ඇත. පිතිකාරිනියක ලෙස ඇය එක්දින ලකුණු 785ක් සහ විස්සයි විස්ස ලකුණු 800ක් ද රැස්කර තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව පාකිස්තාන එක්දින කණ්ඩායම මෙහෙයවන හයවැනි නායිකාව වන ෆාතිමා සනා මීට පෙර එක් අවස්ථාවක ශ්‍රී ලංකාවට එරෙහිව නායකත්වය ලබාදී ඇති අතර, එම තරගය විසඳුමකින් තොරව අවසන් විය.

විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය වමත් ආරම්භක පිතිකාරිනියක සහ කඩුලු රකින්නියක වන මුනීබා අලි වෙත හිමිව තිබේ. ඇය එක්දින ජාත්‍යන්තර තරග 62කදී ශතකයක්, අර්ධ ශතක 5ක් සමඟ ලකුණු 1,386ක් රැස්කර ඇති අතර, විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 94කදී ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 1,712ක් ලබාගෙන ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී පාකිස්තානය මෙහෙයවන පස්වැනි නායිකාව වන්නේ ද මුනීබා අලිය.

මෙවර සංචිතවල කැපී පෙනෙන අංගයක් වන්නේ තරුණ ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුට ජාත්‍යන්තර වරම් හිමිවීමයි. පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ දක්ෂ පිතිකාරිනියන් වන ඉමාන් නසීර් සහ මහම් අනිස් මෙන්ම වමත් දඟ පන්දු යවන මොමිනා රියාසාත් පළමු වරට පාකිස්තාන ජාතික කණ්ඩායමට කැඳවා තිබේ.

එමෙන්ම නජීහා අල්වි, උම්-ඊ-හානි සහ වහීදා අක්තර් ද කලකට පසු නැවත පාකිස්තාන සංචිතයට එක්කර තිබේ.

පාකිස්තාන එක්දින කණ්ඩායම

ෆාතිමා සනා (නායිකාව), අයේෂා සෆර්, ගුල් ෆෙරෝසා, මහම් අනිස්, මොමිනා රියාසාත්, මුනීබා අලි (කඩුලු රකින්නිය), නජීහා අල්වි, නෂ්රා සන්ධු, සදාෆ් ෂමාස්, සයිරා ජබීන්, සිද්රා අමීන්, සයෙදා අරූබ් ෂා, තස්මියා රුබාබ්, උම්-ඊ-හානි, වහීදා අක්තර්.

පාකිස්තාන විස්සයි විස්ස කණ්ඩායම

මුනීබා අලි (නායිකාව හා කඩුලු රකින්නිය), අයේෂා සෆර්, ඉමාන් නසීර්, අයිමන් ෆාතිමා, හුම්නා බිලාල්, මහම් අනිස්, මොමිනා රියාසාත්, නජීහා අල්වි, නෂ්රා සන්ධු, සයිරා ජබීන්, ෂාවාල් සුල්ෆිකාර්, තස්මියා රුබාබ්, ටුබා හසන්, උම්-ඊ-හානි, වහීදා අක්තර්.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee