පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය සනිටුහන් වුණු බංගලාදේශයට එරෙහි දෙවැනි එක්දින තරගයේදී ගෞරවනීය උපහාර දැක්වීමේ චාම් උත්සවයක් ශ්‍රී ලංකා කිකට් ආයතනය විසින් පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයක් අනුව පවත්වන ලද මෙම උපහාර දැක්වීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු වන රවීන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. එම සුවිශේෂී අවස්ථාව අද තරගය පැවැති කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තරගය ආරම්භයට මොහොතකට පෙර සිදුකෙරිණි. මෙහිදී ප්‍රධාන ආරාධිතයා ලෙසින් එම අවස්ථාවට පැමිණි උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා විසින් පල්ලියගුරු මහතා විසින් ක්‍රිකට් විනිසුරුකරණය වෙනුවෙන් සිදුකරන ලද කැපවීම අලලා විශේෂ සමරු ඵළකයක් ප්‍රධානය කරනු ලැබීය.
පල්ලියගුරුගේ මහතා එම සමරු ඵලකය ලබා ගන්නා අවස්ථාවේදී මෙම තරගාවලියේ ප්‍රධාන තරගතීරකවරයා ලෙසින් කටයුතු කරනු ලබන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක සිම්බාබ්වේ ජාතික ඇන්ඩි ප්‍රයික්‍රොෆ්ට් මහතා ද සහභාගිව සිටියේය. ඔහුට අමතරව අද තරගයේ ප්‍රධාන විනිසුරුවරයකු ලෙසින් කටයුතු කළ පාකිස්තානු ජාතික අසීෆ් යකූබ්, රූපවාහිනී විනිසුරුවරයා ලෙසින් කටයුතු කරන ලද දකුණු අප්‍රිකානු ජාතික අලාහුදීන් පලෙකර් සහ සිව්වැනි විනිසුරුවරයා ලෙසින් කටයුතු කරන ලද රවීන්ද්‍ර විමලසිරි යන විනිසුරුවරුද එක්ව සිටියහ.
පල්ලියගුරුගේ මහතා 2011 අගෝස්තු 6 වන දින පල්ලෙකැලේ හිදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර විස්සයි20 ජාත්‍යන්තර තරගයක් විනිශ්චය කරමින් ජාත්‍යන්තර විනිසුරුවරයෙකු ලෙස සිය ගමන ආරම්භ කළේය. එම තරගාවලිය යටතේම අගෝස්තු 14 වැනිදා හම්බන්තොටදී පැවැති එක්දින තරගය පල්ලියගුරුගේ මහතාගේ මංගල එක්දින තරගය විය. 2015 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැති ලෝක කුසලාන තරගාවලිය විනිශ්චය කිරීම සඳහා තෝරන ලද විනිසුරුවරුන් 20 දෙනා අතර ස්ථානනයක් පල්ලියගුරුගේ මහතාට හිමිවීමත් විශේෂත්වයකි. ඊට අමතරව 2016 වසරේ පැවැති ආසියානු ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයත් මෙතෙක් කලක් පල්ලියගුරුගේ මහතාගේ ජාත්‍යන්තර විනිසුරු තරග දිවියේ අමතක නොවන මතක අතරට එක් වුණු තරගයක් ලෙසින් හැඳින්විය හැක.