බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු 16 ක පරාජයකට මුහුණ දීමට අද (05 දා) රාත්‍රියේ සිදුවිය. මෙම තරග පරාජයත් සමඟ බංග්ලාදේශ කණ්ඩායම තරගාවලිය 1-1 ක් කරමින් ශ්‍රී ලංකාව සමග කරට කර තත්ත්වයකට පැමිණියේය.
මෙම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වුවත් තරගයේ සුවිශේෂී සිදුවීමක් වූයේ වනිඳු හසරංග තවත් ලෝක වාර්තාවක් තමන් සතු කර ගැනීමට සමත්වීමය. ඒ අනුව අඩුම එක්දන තරග සංඛ්‍යාවකින් කඩුලු 100 ක් සහ ලකුණු 1000 ක් සම්පූර්ණ කළ ක්‍රීඩකයාගේ වාර්තාව වනිඳු අද තමන්ගේ නම ඉදිරියෙන් ලියා ගත්තේය.
ටන්වීර් ඉස්ලාම් හමුවේ ලකුණකු ලබා ගත් වනිඳු සිය 65 වැනි තරගයේදී එක්දින ලකුණු 1000 කඩඉම සම්පූර්ණ කළේය. ඒ වනවිටත් කඩුලු 106 ක් ලබා සිටි දකුණත් පා දඟ පන්දු යවන්නා අඩුම එක්දින තරග සංඛ්‍යාවකින් කඩුලු 100 ක් සහ ලකුණු 1000 ක් පසු කර සිටින දකුණු අප්‍රිකානු ජාතික ෂෝන් පොලොක් තරග 68 කදී තබා තිබූ ලෝක වාර්තාව තමන් සතු කර ගත්තේය. ඒ සමඟම ඔහු එම දක්ෂතාවය වාර්තා කළ ලෝකයෙන්ම 70 වැන්නා ලෙසින්ද අද ඉතිහාස ගත විය.
පළමු එක්දින තරගයට පෙර ලකුණු 22 ක් ලබාගෙන සිටි වනිඳු තව එක් ලකුණක් ලබා ගත්තේ නම් එකම තරගයකදී කඩුලු 100 ක් සහ ලකුණු 1000 ක් පසු කළ ලෝකයේ දෙවැනි ක්‍රීඩකයා වීමේ අවස්ථාව තිබුණි. එහෙත් ඔහුට එම අවස්ථාව එක් ලකුණකින් මඟ හැරුණි. එම දක්ෂතාව ලෝකයේ කළ පළමු වැන්නා වන්නේ හිටපු දකුණු අප්‍රිකානු නායක ෂෝන් පොලොක් වේ.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලකුණු 249 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම 10 වැනි පන්දුවාරය වන විට කඩුල්ලකට ලකුණු 75 ක් ලබා ගනිමින් ප්‍රබල ස්ථානයක පසුවිය. ඒ වන විටත් පන්දුවට පහර දෙමින් සිටි කුසල් මෙන්ඩිස් පන්දු 20 කදී අර්ධ ශතකය වාර්තා කළේ කොළඹ ආර්. ප්‍රේමදාස තණතීරුවේදී ශ්‍රී ලංකා පිතිකරුවකු රැස් කරන ලද වේගවත්ම අර්ධ ශතකයටද හිමිකම් කියමිනි. හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් කුසල් සිය ප්‍රහාරාත්මක පිතිහරඹය පිටිය පුරා පතුරවද්දී, ටන්වීර් ඉස්ලාම් ඊට හරස්වූයේ ඔහුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි. කුසල් විසින් අද බිඳ හෙළන ලද්දේ තිසර පෙරේරා විසින් පන්දු 23 කදී රැස් කරගෙන තිබූ වේගවත්ම අර්ධ ශතකය විය.
විනිසුරුගේ තීරණය කුසල් නොදැවුණු පිතිකරුවකු ලෙසින් වුවත්, එය අභියෝගයට ලක් කළ බංග්ලාදේශ නායකයා ඉන් ජය ගත්තේය. එතැන් පටන් තරගයේ ග්‍රහණය තමන් වෙතට හරවා ගත් බංග්ලාදේශ පන්දු යවන්නේ ලකුණු 132 ක් ලෙසින් ලකුණු පුවරුව සටහන් වන විට ජනිත් ලියනගේ හැර අද තරගයට ක්‍රීඩා කරන ලද ඉදිරි පෙළ පිතිකරුවන් 6 දෙනාම ප්‍රේක්ෂකයින් බවට පත් කිරීමට සමත්වුහ. ඉන් සිව් දෙනෙකුම දවා ගනු ලැබුවේ පළමු තරගයේදී මංගල එක්දින වරම් දිනාගත් ටන්වීර් ඉස්ලාම් විසිනි.
එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට ධෛර්ය වන්ත ලෙසින් පිති හැසිරවූ ජනිත් ලියනගේ සහ දුෂ්මන්ත චමීර එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක් එක් කළ නමුත් ලියනගේ දැවී යෑමෙන් පසු ජයග්‍රාහී බලාපොරොත්තු ශ්‍රී ලංකාවෙන් ගිලිහිණ.
නොතිබූ ජයග්‍රහණයක බලාපොරොත්තු දැල්වීමට තරම් ප්‍රමාණවත් වුණු ජනිත්ගේ ලකුණු 78 ක ඉනිම වෙනුවෙන් ඔහු පන්දු 85 කට මුහුණ දුන්නේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි. ඔහුට අනගි සහායක් ලබා දුන් දුෂ්මන්ත චමීර ලකුණු 13 ක් රැස් කළේය.
බංග්ලාදේශ පිල වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීම නිරත වූ ටන්වීර් ඉස්ලාම් මහීෂ් තීක්ෂණගේ කඩුල්ලද දවා ගනිමින් තම දෙවැනි එක්දින තරගයේදීම කඩුලු 5 ක් දවා ගත්තා පමණක් නොව තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබුවේය.
ලකුණු 10 ක් පුවරුවේ සටහන්ව තිබියදී ටන්සිඩ් හසන් දැවී ගිය නමුත් අනෙක් ආරම්භක පිතිකරුවා වූ පර්වේස් හොසේන් එමෝන් ඵලදායී ලකුණු 67 ක්ද, මැද පෙළින් පැමිණි තව්හිඩ් රිඩෝයි ලකුණු 51 ක් ද සහ පසු පෙළින් පැමිණි ටැන්සිම් හසන්ගේ වේගවත් පිතිහරඹයත් සමග රැස් කරන ලද ලකුණු 33 ද සමගින් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 ක් දක්වා සිය ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගත්හ.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් අසිත ප්‍රනාන්දු වඩාත් කැපී පෙනෙන පන්දු යවන්නා වූයේ ඔහුගේ පන්දුවාර 9 දී ලකුණු 35 කට ප්‍රතිවාදී පිලේ කඩුලු 4 ක් දවා ගැනීමට සමත්වීම හේතුවෙනි. මෙය ඔහුගේ එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින් සනිටුහන් විය. ඔහුට අමතරව වනිඳු හසරංග ද පන්දු යැවීමේදී කඩුලු 3 ක් දවා ගනිමින් බංග්ලාදේශ පිල පීඩනයකට නතු කිරීමට දායකත්වය දැක්වූවේය.
බංග්ලාදේශ පිලේ හොඳම ඉනිම ක්‍රීඩා කරන ලද ආරම්භක පිතිකරු පර්වේස් එමෝන් හමුවේ ගුග්ලි පන්දුවක් යොමු කරමින් දවාගත් හසරංග අනතුරුව පසු පෙළින් පන්දුවට පහර දීමට පැමිණි පිතිකරුවන් දෙදෙනකුද දවාලූවේය. කෙසේ වෙතත් ඔහු යවන ලද පන්දුවාර 9.1 දී ප්‍රතිවාදී පිතිකරුවෝ ලකුණු 60 ක් රැස් කර ගැනීමට සමත්වූහ. පළමු තරගයට ක්‍රීඩා නොකළ දුෂ්මන්ත චමීර පැයට කිලෝ මීටර 140 කට වඩා වේගයකින් පන්දු යොමු කරමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූවේය. ඔහු ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 7 දී ලකුනු 37 කට එක් කඩුල්ලක් සහ චරිත් අසලංක එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත්වීම නිසා බංග්ලාදේශ ඉනිම 46 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුව යැවීමත් සමග නිමාවට පත්විය.
දෙවැනි කඩුල්ල වෙනුවෙන් එමෝන් සමඟ එක්වූ නජ්මුල් හොසේන් ෂැන්ටෝ ලකුණු 63 ක් එක් කළද එහිදී ෂැන්ටෝ ලකුණු 14 කින් පමණක් දායකත්වය දැක්වූවේය. ඒ අතරතුරදී වේගවත් පිතිහරඹයක් දියත් කළ එමෝන් හයේ පහර 3 ක් එල්ල කළේ ඉන් දෙකක් ඩීප් මිඩ්විකට් කළාපයට ඉහළින් එල්ල කරමිනි. එමෝනට වඩා වඩාත් ප්‍ර වේශම් සහගතව පන්දුවට පහර දුන් රිඩෝයි ටන්සිම් හසන් සමඟ පන්දුවට පහර දෙමින් සිටියදී දුවද්දී දැවී යෑමකට හසුව දැවී ගියේය. එම අවස්ථාවේදී පිටියේ අත්දැකීම් සහිත පිතිකරුවා බවට රිඩෝයි පත්ව සිටියද, ලකුණක් කරා පැති මාරු කර ගැනීමට ටැන්සිම් හසන් උනන්දු නොවූයෙන් අවාසනාවන්ත ලෙස රිඩෝයිට පිටියෙන් ඉවතට යෑමට සිදුවිය. තමාගේ අතපසුවීමකින් නම් දැරූ පිතිකරුවා දැවී ගිය නමුත් වගකීම කරට ගත් ටැන්සිම් පන්දු 21 කදී වේගවත් ලකුණු 33 ක් රැස් කළේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි. ඒ වනිඳු හසරංග විසින් ක්‍රියාත්මක කරන ලද 46 යැනි පන්දුවාරයේදී එල්ල කරන ලද හයේ පහර 2 ත් සමගිනි.
බංග්ලාදේශය පන්දුවාර 45.5 කදී සියලු දෙනා දැවී ලකුණු 248 යි – (පර්වේස් හොසේන් එමෝන් 67, ටැන්සිඩ් හසන් 07, නජ්මුල් හොසේන් ෂැන්ටෝ 14, තව්හිඩ් රිඩෝයි 51, මෙහෙදි හසන් මිරාස් 09, ශමීම් හොසේන් 22, ජකර් අලී 24, ටන්සිම් හසන් සකීබ් 33*, හසන් මහමුදු 00, ටන්වීර් ඉස්ලාම් 04, මුස්ටෆිසූර් රෙහ්මාන් 00, අසිත ප්‍රනාන්දු 35/4, වනිඳු හසරංග 60/3, චරිත් අසලංක 24/1, දුෂ්මන්ත චමීර 37/1)
ශ්‍රී ලංකාව පන්දුවාර 48.5 කදී සියලු දෙනා දැවී ලකුණු 232 යි – (ජනිත් ලියනගේ 78, නිශාන් මදුෂ්ක 17, පැතුම් නිස්සංක 05, කුසල් මෙන්ඩිස් 56, කමිඳු මෙන්ඩිස් 33, චරිත් අසලංක 06, දුනිත් වෙල්ලාලගේ 01, වනිඳු හසරංග 13, මහීෂ් තීක්ෂණ 02, දුෂ්මන්ත චමීර 13, අසිත ප්‍රනාන්දු 03*, ටන්වීර් ඉස්ලාම් 39/5, ටන්සිම් හසන් 34/2, මුස්ටෆිසූර් රෙහ්මාන් 56/1, මෙහෙදි හසන් මිරාස් 37/1, ශමීම් හොසේන් 22/1)