ලකුණු 40 ක් ඇතුළත ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනෙකුම දැවී ගොස් තිබියදී පිටියට එක් වුණු සහෝදරියන් දෙදෙනා වූ නෙතගි ඉසුරාංජලී සහ රශ්මි නේත්‍රාංජලී දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 103 ක නොබිඳුණු සම්බන්ධතාව පෙරටුකොට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ පිට පිටම දෙවැනි වතාවටත් ශූරතාව දිනා ගැනීමට ගාල්ල කණ්ඩායමට අද (29 දා) දිනයේදී හැකියාව ලැබිණ. කොළඹ කණ්ඩායමට එරෙහිව එන්. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති අදාළ අවසන් මහ තරගයේදී ලකුණු 90 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළ ගාලු ක්‍රීඩිකාවෝ ශූරතා කුසලානට අමතරව මුදලින් ලක්ෂ 5 ක ජය මල්ලකටද හිමිකම් කීවේය.
ඉකුත් වසරේ ශූරතාව දිනූ කණ්ඩායම ලෙසින් මෙවර තරගාවලියට අවතීර්ණ වුණු රිෂ්මි සංජනාගේ නායකත්වයෙන් යුතු ගාල්ල කණ්ඩායම මූලික වටය යටතේ සහභාගිවූ තරග 6 න් 5 ක්ම ජය ගනිමින් අවසන් මහ තරග වරම් දිනා ගනිද්දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ කොළඹ කණ්ඩායම මූලික වටයේ සහභාගිවූ තරග 6 න් තරග 3 ක් ජය ගනිමින් අවසන් මහ තරග අවස්ථාව දිනා ගත්තේය. ඒ අනුව ඔවුන්ට අනුශූරතාවට පත් කොළඹ කණ්ඩායමට මුදලින් ලක්ෂ තුනක ජය මල්ලක් හිමිවිය.
ඉදිරි පෙළ පිතිකාරිණියන් දෙදෙනකු ලකුණු 03 ක් ඇතුළත දුවද්දී දැවී යෑමට ලක්වීමෙන් පසු පිටියට පිවිසි නෙතඟි ඉසුරාංජලී පළමුවෙන්ම සංජනා කාවින්දි සමග එක්ව තෙවැනි කඩුල්ලට පන්දු 35 කදී ලකුණු 37 ක් එක් කිරීමට දායකත්වය දැක්වූවාය. වසර 2 ක වයස් පරතරයකින් යුතු මෙම සහෝදරියන් දෙදෙනා අතරින් සිය වැඩිමහල් සහෝදරිය වන රශ්මි නේත්‍රාංජලී සමග එක්වූ ඇයගේ නැඟණිය වූ නෙතඟි ඉසුරාංජලී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 103 සඳහා පන්දු 79 ක් පමණක් වැය කළහ.
මෙහිදී කැපී පෙනෙන ඉනිමක් දියත් කළ නැගණිය, නෙතඟි පන්දු 65 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 77 ක් ලබා සිය ඉනිම නොබිඳිව තබා ගනිද්දී ඇයගේ වැඩිමහලු සහෝදරියරශ්මි නේත්‍රාංජලී පන්දු 34 කදී ලකුණු 39 ක් ලබා සිය කඩුල්ල ආරක්ෂා කර ගෙන සිටියේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි.
කෙසේ වෙතත් ගාලු කණ්ඩායම ලබා දුන් ලකුණු 144 ක ඉලක්කය හඹා ගිය කොළඹ කණ්ඩායමට පන්දුවාර 12 ක් අවසනදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 53 ක් පමණි. පන්දු යැවීමේදී කැපී පෙනුණු ෂෙහාරා ඉඳුවරී ලකුණු 10 කට කඩුලු 4 ක් ද දිනිති ප්‍රතිබාෂිණී ලකුණු 19 කට කඩුලු 2 ක් ද ලබා ගත්හ.
අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සදහා වූ සම්මානය නෙතඟි ඉසුරාංජලී විසින් හිමිකර ගත් අතර ඇයට එම කුසලාන සමඟ මුදලින් රු. 50,000 ක මුදලක් හිමි විය. මීට අමතරව තරගාවලියේ දක්ෂතම පිතිකාරිණිය ලෙසින් තරග 6 කදී අර්ධ ශතක 2 ක් ද සමගින් ලකුණු 175 ක් රැස් කළ ගාලු කණ්ඩායමේ සංජනා කාවින්දි ද , දක්ෂතම පන්දු යවන්නිය වශයෙන් තරග 6 කදී කඩුලු 11 ක් බිඳ හෙලූ ගාලු නායිකා රිෂ්මි සංජනා ද සම්මාන දිනා ගත්හ. ඔවුන් දෙදෙනාටම එම කුසලාන සමග මුදලින් රු. 75,000 බැගින් පිරිනැමිණ. මේ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව සඳහා පිරිනැමුණු කුසලානය සහ රු. ලක්ෂයක මුදල දඹුලු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩිකා නෙත්මි උපේක්ෂා විසින් දිනා ගත්තාය. ඇය මෙවර තරග වාරයේ තරග 6 කදී පිත්තෙන් ලකුණු 94 ක්ද පන්දු වෙන් කඩුලු 10 ක් ද දවා ගනිමින් කැපී පෙනුණාය.
තරගාවසානයේ පැවැති ජය සංඛේත ප්‍රධානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික, කාන්තා ක්‍රිකට් කමිටු සභාපති භගී බාලචන්ද්‍රන්, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සහ තග සංවිධායක කමිටු සභාපති නලීන් අපෝන්සූ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකුට් අංශයේ ජ්‍යෙෂ්ඨ කලමනාකරු රොෂාන් බියන්විල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ගාල්ල බාළිකා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 4 කදී ලකුණු 143 යි – (නෙතඟි ඉසුරාංජලී 77*, රෂ්මි නේත්‍රාංජලී 39*, සංජනා කාවින්දි 21, යෙවදි විනීසා 19/1)
කොළඹ බාළිකා කණ්ඩායම පන්දුවාර 14 කදී සියලු දෙනා දැවී ලකුණු 53 යි – (නෙතුකි කුඩලිගම 11, ඔනාලී අදීෂා 11, ෂෙහාරා ඉඳුවරී 10/4, දිනිති ප්‍රතිභාෂිනී 19/2, චමෝදි හේරත් 09/1, රිෂ්මි සංජනා 06/1)









