ඩාර්වින් නුවර පැවැත්වෙන දෙවැනි නිල නොවන ස්විදින ටෙස්ට් තරගයේ තරගයේදී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායමේ කඩුලු 2 ක් පමණක් ශ්‍රී ලංකා ‘ඒ‘ පන්දු යවන්නන් දවා ගැනීමට සමත් වුවත්, ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලබා දුන් ලකුණු 485 පසුකර යෑමට ඔවුනට නොහැකි විය.
ලකුණු 76 කට කඩුල්ලක් දැවී ගොස් තිබියදී තෙවැනි දිනය ආරම්භ කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම එදින යවන ලද පන්දුවාර 82 ඇතුළත රැස්කරගෙන සිටියේ ලකුණු 303 ක් පමණි. ඒ අනුව තෙවැනි දිනය අවසන් වන විට ඔස්ට්‍රේලියානු ‘ඒ‘ ලකුණු පුවරුව සටහන්ව තිබුණේ කඩුලු 3 කට ලකුණු 379 ක් වශයෙනි.
ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිල වෙනුවෙන් ජේක් වෙදරල්ඩ් ලකුණු 183 ක දැවැන්ත ඉනිමක් ගොඩ නඟා තිබුණද තරගයේ සිව්වැනි දිනය ආරම්භ වන විටත් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සත්කාරක පිලට වඩා ලකුණු 106 ක් ඉදිරියෙන් සිටින නමුත් ඔස්ට්‍රේලියානුවන් සතුව තවත් කඩුලු 7 ක් ඉතිරිව තිබේ.
පන්දු 275 කට මුහුණ දුන් වෙදර්ල්ඩ් ලබා ගත් ලකුණු 183 සඳහා ඔහු හතරේ පහර 16 ක් සහ හයේ පහර 2 ක් එල්ල කළේය. මෙය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 13 වැනි ශතකය ලෙසින් සනිටුහන් විය. ඔහුට අගනා සහායක් ලබා දුන් නායක ජේසන් සංගා, නොදැවී ලකුණු 121 ක් ලබා සිටියි. එම ඉනිම සදහා ඔහු පන්දු 206 කට මුහුණ දුන්නේ ඊට හයේ පහරක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් කරමිනි. මෙය ජේසන්ගේ පළමු පෙළ තරග දිවියේ 9 වැනි ශතකය ලෙසින් සනිටුහන් විය.
ඔස්ට්‍රේලියානු ‘ඒ‘ ඉනිම අඩපණ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හැකි උපරිමය ගනු ලැබුවද, දෙවැනි දිනයේදී කඩුල්ලක් ලද නිශාන් පීරිස් හැරුණු කොට කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්වූයේ නුවනිඳු ප්‍රනාන්දු සහ අසංක මනෝජ් පමණි. මෙම තරගයේ සිව්වැනි සහ අවසන් දිනය හෙට වේ.
ශ්‍රී ලංකා ‘ඒ‘ පන්දුවාර 157 කදී කඩුලු 6 ට ලකුණු 485 යි – පවන් රත්නායක 122, නුවනිඳු ප්‍රනාන්දු 102, කමිල් මිශාර 81, සොනාල් දිනූෂ 88, සොහාන් ඩි ලිවේරා 50*, පසිදූ සූරියබණ්ඩාර 08, ළහිරු උදාර 10, ශිරාන් ප්‍රනාන්දු 04*, මිචෙල් පෙරී 61/1, ලියම් ස්කොට් 28/1, හෙන්රි ත්‍රොන්ටන් 39/1, සෙන්ඩන් ජේ 132/3)
ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 103 කදි කඩුලු 3 ක් දැවී ලකුණු 379 යි – (ජේක් වෙදරල්ඩ් 183, කර්ටිස් පැටර්සන් 59, නේතන් මැක්ස්වීන් 12, ජේසන් සංගා 121*, ඔලිවර් පීක් 03*, නිශාන් පීරිස් 91/1, අසංක මනෝජ් 57/1, නුවනිඳු ප්‍රනාන්දු 13/1)






