slc
logo
Home   |    News
ජූලි 9, 2025
ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති වඩාත්ම වටිනාකම වන්නේ එළැඹෙන 2026 වසරේ පෙබරවාරි සහ මාර්තු මාස වලදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ ආරම්භ සනිටුහන් කරන්නක් බවට පත් කර ගැනීමයි. මෙම තරගය ප.ව. 7.00 ට ආරම්භ වනු ඇත.

එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට පෙර තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙක් වන දසුන් ශානක සහ චාමික කරුණාරත්ව කැඳවා තිබේ. ඒ අනුව දසුන් කණ්ඩායමට පිවිසෙන්නේ වසරකට පසුවත් චාමික කරුනාරත්න වසර 2 ක කාලයකට පසුවත් ජාතික කණ්ඩායමේ දොරගුලු විවර කරගෙන සිටිති.

චරිත් අසලංක එක්දින සහ විස්සයි-20 තරග අංශයේ නායකත්වයට පත්වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්හි අවසන් ස්ථාන වල පසු වුවත් දිගින් දිගටම ලද එක්දින තරගාවලි ජයග්‍රහණයන් හේතුවෙන් මේ වන විටත් 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සිටියි. එහෙත් විස්සයි-20 තරග අංශය දෙස අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 7 වැනි ස්ථානයේය.

“අපි පටන් ගන්නකොට කතා කළේ ටී-20 රෑංකිංවල පළවැනි 5 දෙනා අතරට එන්න. ඉතිං ඒක ලොකු ප්‍රොසෙස් එකක්. ඒ මාර්ගයේ තමයි අපි දැන් ඉන්නේ“ යැයි හෙට තරගයට පෙර අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සදහන් කර සිටියේය.

“ඇත්තම කිව්වොත් අපි තාම ටී-20 කම්බිිනේෂන් එක හරියටම සෙට් කරගෙන යන ගමන්. ස්ථාන දෙකක් හෝ තුනක් තියෙනවා. ඒ තැන් වලට අපි හොඳ ක්‍රීඩකයින් හොයා ගන්න ඕන. ඒක හොයන ගමන් අපි ඉන්නේ“ යැයි චරිත් සඳහන් කරයි.

“වැදගත් වෙන්නේ ක්‍රීඩකයින් කලමනාකරණය කරගන්න එක. බලන්න ඕන අපි එන ක්‍රීඩකයින්ට හොද රන් එකක් දීලා ඒගොල්ලන්ට අවශ්‍ය උපරිම අවස්ථාව ලබා දීලා ෆෝම් එකේ තියාගෙන්නේ කොහොමද කියන එක. ඉතිං මං හිතනවා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියත් වර්ඩ්ල් කප් එකට කළින් අනිවාර්යයෙන් පැවැත්වෙයි කියලා. ඒකත් ලොකු දෙයක් අපිට ටී20 වරල්ඩ් කප් එකට යන්න කළින්“ යැයි චරිත් වැඩිදුරටත් සදහන් කර සිටියේය.

අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ තරග වලදී අවසන් පන්දුවාර 4 දී හෙවත් ඉනිම අග්ගිස්සේහි වේගයෙන් ලකුණු රැස් කිරීමේ දැවැන්ත අඩුපාඩුවක් පැවැතිණ. එහෙත් ශ්‍රී ලංකා නායකයාගේ බලාපොරොත්තුව වන්නේ එම අඩුපාඩුව කණ්ඩායමට එකතු කරගෙන සිටින පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකගෙනුත්, පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නගෙනුත් සිදුකර ගැනීමයි.

“ඇත්තටම ඒ දෙන්නාගෙන් එක්ස්පෙකට් කරන්නේ බැටිං ඕල්රවුඩර් සහ බෝලිං ඕල්රවුන්ඩර් කියන රෝල් දෙක. ඉතිං මං හිතන්නේ දසුන් ශානකගේ ස්ථානය සමහර වෙලාවට ෆ්ලෝටිං වෙන්න පුලුවන්. නමුත් නොම්මර 6 ගොඩක් වෙලාවට ක්‍රීඩා කරයි. චාමික නොම්බර 07 ස්ථානයේ ක්‍රීඩා කරයි“ යනුවෙන් චරිත් සඳහන් කර සිටියි.

ඒ අනුව හෙට තරගයේදී මොවුන් දෙදෙනාටම නොමැති වුවත් දෙදෙනාගෙන් කෙනෙකුට කණ්ඩායමේ ස්ථානය තහවුරු වීම අනිවාර්යය වනු ඇත. එම අවස්ථාව බොහෝ දුරට දසුන් ශානකට හිමිවනු ඇතැයි අපේක්ෂා කළ හැක. එහිදී දසුන්ට පිතිකරුවකු ලෙස වැඩි බරක් යොමුවන අතර පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස චාමික කෙරෙහිද කලමනාකාරීත්වය වැඩි විශ්වාසයක් තබා තිබේ.

ඊට අමතරව කාලයක් තිස්සේ ඇන්ජලෝ මැතිව්ස්ගේ ක්‍රීඩා කරන ලද අංක 4 පිතිකරු ස්ථානයද මේ වන විටත් විවෘතව පවතියි. එහෙත් ශ්‍රී ලංකා නායකයා ඇතුළු තේරීම්වල බලාපොරොත්තුව වී ඇත්තේ ඒ සඳහා ආදේශකය ලෙසින් අවිශ්ක ප්‍රනාන්දුව යොදා ගැනීමයි.

“අවිශ්ක ප්‍රනාන්දුගේ රෙකෝඩ්ස් තියෙන්නේ එයා ඕපන් කළාට පස්සේ. ඒ කියන්නේ කළින් අවුරුදු  වල ඒවා. මං හිතනනේ මමත් මේ කෝචුත් සිලෙක්ටර්ස්ලත් ගෙනාවේ නොම්බර 4 ස්ථානයේ ක්‍රීඩා කරවන්න. මොකද කළින් අවුරුද්දේ එල්.පී.එල්. තරගාවලියෙද් අවිශ්ක මං හිතන්නේ වැඩිම ලකුණු ලබාගත් මුල් ක්‍රීඩකයින් තුන් හතර දෙනා අතරේ හිටියා“

“ඉතිං ජැෆ්නා කණ්ඩායමේ නොම්බර 4 ක්‍රීඩා කළේ අවිශ්ක ප්‍රනාන්දු. අපි කිව්වා ටී20 කණ්ඩායම තෝරන ප්‍රධාන හේතුව තමයි එල්.පී.එල්. තරගාවලිය. ඉතිං එල්තපීඑල් තරාවලියේ ලකුණු අතර හිටපු ක්‍රීඩකයෝ තමයි මෙතෙන්ට අරන් එන්නේ. ඒක තමයි ප්‍රධානම හේතුව. අවිශ්කගේ භූමිකාව දැන් වෙනස්. එයාව එක්දින කණ්ඩායමේ ඕපන් කළාට ටී-20 කණ්ඩඩායමේ අංක 4 ස්ථානයේ භූමිකාවට තමයි අවිශ්ක බලන්නේ“ යැයි අවිශ්කගෙන් ගැනීමට බලාපොරොත්තු වන සේවය පිළිබඳව චරිත් කරුණු පැහැදිළි කර සිටියේය.

අවිශ්කගේ වාර්තා ගෙ බැලීමේදී ඔහු විස්සයි-20 තරග 37 ක් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. එහෙත් එහිදී ඔහු රැස් කිරීමට සමත්ව සිටින්නේ ලකුණු 363 ක් පමණි. ඒ අතරතුර කාලයේදී ඔහු එකම අර්ධ ශතකයක් හෝ වාර්තා කරගැනීමට අපොහොසත්ව සිටින අතර වැඩිම ලකුණු ලෙස සටහන් වන්නේ ලකුණු 37 කි. චරිත් සඳහන් කළ ආකාරයට ඔහු කළින් ආරම්භක පිතිකරුවාගේ භූමිකාව ඉටු කිරීමේදී අසාර්ථක්වයක් පෙන්නුම් කළ නමුත් අංක 4 පිතිකරණ ස්ථානයෙන් වඩාත් සාධාරණයක් කිරීමට සමත්ව ඇති බවයි.

එය වඩාත් සාධාරණීයකරය කිරීමට අවිශ්ක සමත් වන්නේ එල්.පී.එල්. තරගාවලියේ දක්වන ලද දක්ෂතා සමගිනි. ඔහු මෙතෙක් තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු රැස් කර ඇති පිතිකරුවාය. ඔහුගේ නමින් තරග 50 කදී අර්ධ ශතක 14 ක් සමගින් ලකුණු 1544 ක් ලියැවී තිබේ. නිමාවට පත්වුණු 2024 වසරේදීද ජැෆ්නා කිංග්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කළ දකුණත් පිතිකරුවා අංක 4 ස්ථානයෙන් පිවිස එම තරගාවලියේ ලකුණු 374 ක් ලබා ගන්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 37.40 ක් රඳවා ගනිමිනි. ඔහුගේ පන්දුවට පහර දෙන ප්‍රෙව්ගය ලකුනු 163 කට ආසන්නය.  

ශ්‍රී ලංකා කණ්ඩායම සතු ප්‍රධානම දග පන්දු යවන්නා වන වනිඳු හසරංග කලවයේ මස්පිඬු ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුව විස්සයි-20 සංචිතයෙන් ඉවත් කර තිබේ. තෙවැනි එක්දින තරගයේදී පන්දුවට පහර දෙමින් සිටියදි වනිඳු ආබාධයකට ගොදුරු වූවේය. එහෙත් ඔහු පන්දු රැකීමට පැමිණි අතර කඩුලු 2 ක් ද දවා ගත්තේය.  එය ශ්‍රී ලංකා කණ්ඩායම දෙසින් දැවැන්ත පාඩුවක් වුවත් එම ස්ථානය සඳහා ඔහුගේ ආදේශකයා වනුයේ ජෙෆ්රි වැන්ඩර්සිය.

පිතිකරණ අංශය පිළිබඳව එවැනි අත්හදා බැලීම් සිදුකිරීමට සැරසෙන මොහොතේදී වේග පන්දු යැවීමේ බල ඇණිය දෙස අවධානය යොමු කිරීමේදී හෙට තරගයට ක්‍රීඩා කරන්නේ කවුුරුන්ද යන්න තීරණය කිරීම සොඳුරු හිස රදයක් බවට පත්ව තිබේ. මන්ද යත් සංචිතයේ පසුවන වේග පන්දු යවන්නන් සිවුදෙනාගෙන් බිනුර ප්‍රනාන්දු හැරුණු කොට අනෙක් තිදෙනාම නිමාවට පත්වුණු අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කරමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්වූවෝ වීම හේතුවෙනි. බිනුර ප්‍රනාන්දුද විස්සයි-20 තරග අංශයේදී ශ්‍රී ලංකාවට සිටින හොඳම වමත් වේග පන්දු යවන්නාය. මතීෂ පතිරණ, නුවන් තුෂාර සහ එෂාන් මාලිංග තිදෙනාම අයි.පී.එල්. තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයෝ වෙති.

ශ්‍රී ලංකා කණ්ඩායම – චරිත් අසලංක (නායක), දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, චාමික කරුණාරත්න, කමිදු මෙන්ඩිස්, දසුන් ශානක, බිනුර ප්‍රනාන්දු, එෂාන් මාලිංග, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර, ජෙෆ්රි වැන්ඩර්සි, දුනිත් වෙල්ලාලගේ, 

බංග්ලාදේශ කණ්ඩායම – ලිටන් දාස් (නායක), ජැකර් අලී, මොහොමඩ් නයිම්, පර්වේස් හෝසේන් එමෝන්, ටැන්සිඩ් හසන්, තව්හිඩ් රිඩෝයි, මෙහෙදි හසන් මිරාස්, මෙහෙදි හසන්, මොහොමඩ් සයිෆුඩීන්, නසුම් අහමඩ්, රිෂාඩ් හොසේන්, ශමීම් හොසේන්, ටැන්සිම් හසන් සකීබ්, මුස්ටෆිසුර් රෙහ්මාන්, ෂොරිෆුල් ඉස්ලාම්, ටස්කින් අහමඩ්.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar