සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වූවේය.
ඊයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා ‘ඒ‘ පිල කඩුල්ලක් දැවී ලකුණු 49ක් ලබා සිටි අතර, අද තරගය නිමාවෙද්දී කඩුලු 3කට ලකුණු 280ක් ලබා සිටියේය.
ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමේදී කැපී පෙණෙන ඉනිමක් ක්‍රීඩා කළ සොනාල් දිනූෂගේ ශකයත් සමඟ ලකුණු 272ක් වාර්තා කිරීමට සමත්වූ අතර, අර්ධ ශතක 5ක් සමඟ ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 486ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා ‘ඒ‘දෙවැනි ඉනිමේදී අංක 3 ස්ථානයේ පන්දුවට පහරදුන් නුවනිඳු ප්‍රනාන්දු, පන්දු 218 කදී හයේ පහර 3ක් හා හතරේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 104ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමට ප්‍රබල දායකත්වයක් ලබා දුන් අතර, නුවනිඳු හා පසිඳු සූරියබණ්ඩාර අතර, තෙවැනි කඩුල්ලට පන්දු 196කදී ලකුණු 113ක සබඳතාවක් ගොඩ නැගුණි. නායක පසිඳු සූරියබණ්ඩාර පන්දු 98කදී හයේ පහරක් හා හතේ පහර 4ක් සමඟ ලකුණු 56ක් ලබා ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ඉනිමට ස්ථාවරත්වයක් ගෙන දුන්නේය.
ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පන්දු යවන්නන් තෙහෙට්ටුවට පත්කරමින් පවන් රත්නායක පන්දු 96කදී හතරේ පහර 6ක් සමඟ ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 56ක් ලබා ගැනීමට සමත් විය. නුවනිඳු හා පවන් අතර, සිව්වැනි කඩුල්ලට පන්දු 172කදී ලකුණු 107ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැගී තිබිණි.
ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පමු ඉනිමේදී නේතන් මැක්ස්වීනි සහ ලියම් ස්කොට් යන දෙදෙනාම ලකුණු 94 බැගින් ලබා ගනිමින් ශතක පෙනීපෙනී දැවීගිය අතර, ජොෂ් පිලිප් ලකුණු 85ක්, මිචෙල් පෙරී ලකුණු 61 ක් සහ ජේක් වෙදරල්ඩ් ලකුණු 54ක් සත්කාරක කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට වැදගත් දායකත්වයක් ලබා දුන්හ.
ශ්‍රී ලංකා ‘ඒ‘ පිලේ ශතකයක් ලබාගත් වමත් දඟ පන්දු යවන සොනාල් දිනූෂ පන්දු යැවීමේ දක්ෂතා ප්‍රදර්ශනය කරමින්, කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. නිශාන් පීරිස් හා ප්‍රමෝද් මධුෂාන් කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.
තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා ‘ඒ‘ හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ අතර, දෙවැනි නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 20 වැනිදා ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 272 (ඕවර් 82) – කමිල් මිෂාර 12, නුවනිඳු ප්‍රනාන්දු 34, පසිඳු සූරියබණ්ඩාර 20, සොනාල් දිනූෂ නොදැවී 105, විශාද් රන්දික 27, ඉසිත විජේසුන්දර 33, අතිරේක 25 (ලියම් ස්කොට් 27/2, හෙන්රි ටොරොන්ටොන් 31/2, නේතන් මැක්ස්වෙනි 51/2)
ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 486 (ඕවර් 161.4) – ජේක් වෙදරල්ඩ් 54, නේතන් මැක්ස්වීනි 94, කුර්ටිස් පැටර්සන් 19, ලියම් ස්කොට් 94, ජොෂ් පිලිප් 85, මිචෙල් පෙරී 61, සැන්ඩෙන් ජේ 27, ලොයිස් ස්මිත් 15 ( නිශාන් පීරිස් 137/2, ප්‍රමෝද් මධුෂාන් 82/3, සොනාල් දිනූෂ 97/4)
ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම දෙවැනි ඉනිම කඩුලු 3කට ලකුණු 283 (ඕවර් 81) – ළහිරු උදාර 17, කමිල් මිෂාර 35, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 104, පසිඳු සූරියබණ්ඩාර 56, පවන් රත්නායක නොදැවී 56 (මිචල් පෙරී 36/1, හෙන්රි ටොරොන්ටොන් 38/1, ලියම් ස්‍ොට් 10/1)





