අන්තර් සමාජ ප්‍රධානම එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව තරග වලට සුදුසුකම් ලබා ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය – කෝල්ට්ස් – සී.සී.සී සහ ටැමිල් යුනියන් කණ්ඩායම් අද (21) සමත්වූහ. අවසාන පූර්ව තරග වටය මේ මස 25 වැනිදා පැවැත්වීමට නියමිතය.
අද නිමාවට පත් වුණු මූලික වටයේ තරගයකදී ටැමිල් යුනියන් කණ්ඩායම හමුවේ පොලිස් ක්‍රීඩා සමාජය පරාජයට පත් වුවද මීට පෙර ක්‍රීඩා කළ තරග 5 න් 5 ම ජය ගැනීමට ඔවුන් සමත්වීම මත කිසිදු අපහසුවකින් තොරව ඒ කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගනිමින් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබිණ. ඒ අනුව ‘ඒ‘ කොටසේ ප්‍රථම ස්ථානය පොලිස් ක්‍රීඩා සමාජයටත් ‘බී‘ කොටසේ ප්‍රථම ස්ථානය සී.සී.සී. කණ්ඩායමටත් හිමි විණි. ‘ඒ ‘ කොටසේ දෙවන ස්ථානය ටැමිල් යුනියන් දිනාගත් අතර ‘බී ‘ කොටසේ දෙවන ස්ථානය හිමි වුයේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයටයි.
මේ එක්දින තරගාවලියේ අද පැවැති මූලික වටයේ අවසාන තරග හයේ දී මෙට්ලන්ඩ් පෙදෙසේ සී.සී.සී. කණ්ඩායම කඩුලු හයකින් නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක කණ්ඩායමත් කෝල්ට්ස් ලකුණු 36කින් (ඩක්වර්ත් ක්‍රමයට) බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයත් ටැමිල් යුනියන් කඩුලු හයකින් පොලීසියත් බදුරලිය ලකුණු 67කින් පාණදුර ක්‍රීඩා සමාජයත් බී.ආර්.සී. ලකුණු 18කින් කුරුණෑගල තරුණ කණ්ඩායමත් ඒස් කැපිටල් ලකුණු 63කින් (ඩක්වර්ත් ක්‍රමයට) හලාවත මේරියන්ස් ද පරාජයට පත්කළහ.
මෙට්ලන්ඩ් පෙදෙසේ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති සී.සී.සී. – නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක කණ්ඩායම අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පන්දු 99ක දී හතරේ නවයක් හයේ පහර හතක් සමග නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 130කි. සී.සී.සී. නියෝජනය කරන කමිඳු මෙන්ඩිස් මේ තරගයේ දී ලකුණු 17කට කඩුලු දෙකක් දවාලුවේය.
අද දිනයේ ශතකයක් වාර්තා කළ අනෙක් පිතිකරුවා වුයේ බදුරලිය ක්‍රීඩා සමාජයේ දිල්ෂාන් ද සොයිසා ය. දිල්ෂාන් මෙදින පාණදුර ක්‍රීඩා සමාජය සමග තරගයේ දී ලකුණු 104ක් රැස් කළේ පන්දු 125කට මුහුණ දී හතරේ පහර නවයක් සහ හයේ පහර දෙකක් සමගය.
බී.ආර්.සී. – කුරුණෑගල තරුණ කණ්ඩායම අතර තරගයේ දී බී.ආර්.සී. කණ්ඩායමේ මොවින් සුබසිංහ ලකුණු 19කට කඩුලු හයක් ද ඒස් කැපිටල් – හලාවත මේරියන්ස් තරගයේ දී ඒස් කැපිටල් කණ්ඩායමේ නිමේෂ ගුණසිංහ ලකුණු 29කට කඩුලු හයක් ද කෝල්ට්ස් – බ්ලුම්ෆීල්ඩ් තරගයේ දී කෝල්ට්ස් කණ්ඩායමේ අකිල ධනංජය ලකුණු 39කට කඩුලු හතරක් ද බී.ආර්.සී. – කුරුණෑගල තරුණ තරගයේ දී කුරුණෑගල තරුණ කණ්ඩායමේ ගයන වීරසිංහ ලකුණු 16කට කඩුලු හතරක් ද දවාලමින් දක්ෂ පන්දු යැවීමක නිරත විණි. මීට අමතරව හලාවත මේරියන්ස් කණ්ඩායමේ තනුක දාබරේ ඒස් කැපිටල් සමග තරගයේ දී ලකුණු 44කට පිතිකරුවන් පස්දෙනකුම දවාලුවේය.
- පොලිසියේ අපරාජිත භාවය ටැමිල් යුනියන් බිඳ දමයි
බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තගරයේ දී ටැමිල් යුනියන් කණ්ඩායමේ තරිඳු රත්නායක (34/4) සහ විජය කාන්ත් වියස් කාන්ත් (27/3) පන්දු යැවීමෙන් සහ ආරම්භක පිතිකරු සිනෙත් ජයවර්ධන පන්දු 50ක දී ලකුණු 87ක් රැස් කරමින් ටැමිල් යුනියන් කඩුලු හතක පහසු ජයග්‍රහණයකට මඟ පෑදුහ.
පොලීසිය පන්දුවාර 37ක දී සියල්ල දැවී 144 – (කුසල් ජනිත් පෙරේරා 38, අෂේන් බණ්ඩාර 27, ජේසන් ප්‍රනාන්දු 26, නදීර බාලසූරිය 14, රශ්මික හිරුෂාන් 13, තරිඳු රත්නායක 34/4, විජය කාන්ත් වියස් කාන්ත් 27/3)
ටැමිල් යුනියන් පන්දුවාර 20ක දී කඩුලු 3ට 147යි – (සිනෙත් ජයවර්ධන 87, ඉසිවර දිසානායක 22, සචිත ජයතිලක 20, මිනෝද් භානුක නොදැවී 17, දිලුම් සුධීර 25/1)
- ඒස් කැපිටල් ලකුණු 63කින් හලාවත මේරියන්ස් පරාජය කරයි
පාණදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී ජයග්‍රාහී ඒස් කැපිටල් කණ්ඩායම වෙනුවෙන් තනුජ රාජපක්ෂ (90) සහ හිමාෂ ලියනගේ (නොදැවී 77) පන්දුවට පහරදීමේදීත් නිමේෂ ගුණසිංහ (ලකුණු 29ට කඩුලු හයයි) පන්දු යැවීමේදීත් කැපී පෙනෙන දක්ෂතා දැක්වුහ.
ඒස් කැපිටල් පන්දුවාර 50දී කඩුලු 9ට 315යි – (තනුජ රාජපක්ෂ 90, හිමාෂ ලියනගේ නොදැවී 77, ළහිරු දවටගේ 63, රවීන් ද සිල්වා 41, තනුක දාබරේ 44/5, ෂම්මු අෂාන් 44/1යි)
හලාවත මේරියන්ස් පන්දුවාර 20.2ක දී සියල්ල දැවී 177යි – (තරිඳු රත්නායක 72, තනුක දාබරේ 45, තරිඳු අමරසිංහ 22, නිමේෂ ගුණසිංහ 29/6)
- බදුරලිය ලකුණු 67කින් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට පාණදුර ක්‍රීඩා සමාජය පරාජය කරයි
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී බදුරලිය කණ්ඩායමේ දිල්ෂාන් ද සොයිසා පන්දු 125ක දී හතරේ නවයක් හයේ දෙකක් සමග ලකුණු 104ක් ලැබීය.
පාණදුර කණ්ඩායමේ පන්දු යවන්නන් සිව්දෙනකු කඩුලු දෙක බැගින් දවාලුහ.
බදුරලිය පන්දුවාර 50දී සියල්ල දැවී 251 – (දිල්ෂාන් ද සොයිසා 104, ජනෙත් කෞෂාල් 52, යුනික දිල්රුක් 26, මොහමඩ් ඩිල්ෂාඩ් 44/4, නිමේෂ් විමුක්ති 30/1)
පාණදුර ක්‍රීඩා සමාජය පන්දුවාර 41.2දී කඩුලු 9ට 176යි – (දුෂාන් හේමන්ත 39, සසිඳු මල්ෂාන් 33, විෂේන් හැළඹගේ 33, සෙනිත හැළඹගේ 21, ඕෂද ප්‍රනාන්දු 16, නිසල තාරක 14, කේසර නුවන්ත 15/2, චානක කොමසාරු 22/2, සීක්කුගේ ප්‍රසන්ත 42/2, මනස මධුභාෂණ 38/2)
- සී.සී.සී. කඩුලු හතකින් නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජ කණ්ඩායම පරාජය කරයි
මෙට්ලන්ඩ් පෙදෙසේ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී සී.සී.සී. කණ්ඩායමේ පිතිකරු ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පන්දු 99ක දී හතරේ නවයක් හයේ හතක් සමග නොදැවී ලකුණු 130ක් රැස්කර පිතිකරණයේ දී විශේෂ දක්ෂතා දැක්වීය.
සී.සී.සී. කණ්ඩායමේ දඟපන්දු යවන කමිඳු මෙන්ඩිස් පන්දු යැවීමේ දී දස්කම් දැක්වුයේ ලකුණු 17කට කඩුලු දෙකක් දවාලමිනි.
නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක කණ්ඩායම පන්දුවාර 36දී කඩුලු 5ට 228 – (තිලකරත්න සම්පත් 63, අක්රම් මුතාලිබ් 53, පැතුම් කුමාර නොදැවී 47, පුළිඳු පෙරේරා 28, රාහුල් ගුණසේකර 13, කමිඳු මෙන්ඩිස් 17/2, ධනංජය ද සිල්වා 28/1යි)
සී.සී.සී. පන්දුවාර 33.1ක දී කඩුලු 3ට 240 – (ධනංජය ද සිල්වා නොදැවී 130, කමිඳු මෙන්ඩිස් 54, අන්ජල බණ්ඩාර නොදැවී 30, නිශාන් මධුෂ්ක 19, මියුරු හේෂාන් 37/2)
- කෝල්ට්ස් ලකුණු 36කින් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට බ්ලුම්ෆීල්ඩ් පරාජය කරයි
කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී කෝල්ට්ස් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් (76) සංගීත් කුරේ (52) අර්ධ ශතක රැස්කර පිතිකරණයෙන් ද අකිල ධනංජය (39/4) දිල්ෂාන් මධුශංක (29/3) පන්දු යැවීමෙන් ද දක්ෂතා දැක්වුහ.
කෝල්ට්ස් පන්දුවාර 40දී කඩුලු 8ට 226යි – (දිනේෂ් චන්දිමාල් 76, සංගීත් කුරේ 52, දුනිත් වෙල්ලාලගේ 34, මුදිත ලක්ෂාන් 20, ධනංජය ලක්ෂාන් 12, දුලාජ් සමුදිත 43/2, කවීෂ පියුමාල් 32/1)
බ්ලුම්ෆීල්ඩ් පන්දුවාර 40දී කඩුලු 9ට 196යි – (ජනිත් ලියනගේ 62, රොන් චන්ද්‍රගුප්ත 60, තරිඳු හර්ෂණ 19, රවිඳු ප්‍රනාන්දු 13, අකිල ධනංජය 39/4, දිල්ෂාන් මධුශංක 29/3)
- බී.ආර්.සී. ලකුණු 18කින් කුරුණෑගල තරුණ කණ්ඩායම පරාජය කරයි
කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී බී.ආර්.සී. පන්දුවාර 48.1ක දී සියලු පිතිකරුවන් ලකුණු 143කට දැවී ගියත් එම කණ්ඩායමේ මොවින් සුබසිංහ ලකුණු 19කට කුරුණෑගල තරුණ කණ්ඩායමේ පිතිකරුවන් හයදෙනකුම දවාලීමෙන් කුරුණෑගල තරුණ ඉනිම ලකුණු 125කට සිමා විණි. මොවින් මෙදින ලකුණු 27ක් ද රැස් කළේය.
කුරුණෑගල තරුණ කණ්ඩායමේ ලකුණු 16කට කඩුලු හතරක් දවා පසුව ලකුණු 33ක් රැස්කර තුන් ඉරියව්වේම කැපී පෙනුණි.
බී.ආර්.සී. පන්දුවාර 48.1ක දී සියල්ල දැවී 143යි – (චාමික හීනටිගල 42, මොවින් සුබසිංහ 27, යසිරු රුද්‍රිගෝ නොදැවී 22, දිනිරු අබේවික්‍රම 17, ගයන වීරසිංහ 16/4, දේශාන් සෙනෙවිරත්න 19/2, වතිල උදාර 39/2)
කුරුණෑගල තරුණ කණ්ඩායම පන්දුවාර 37.3දී සියල්ල දැවී 125යි – (වතිල උදාර 39, ගයන වීරසිංහ 33, ලියෝ ෆ්රැන්සිස්කෝ 25, අමේෂ් තෙන්නකෝන් 10, මොවින් සුබසිංහ 19/6, තරුෂ්ක අසේල 8/1)






