සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදුකරනු ලබන ‘ජාතික ගමන් මඟ‘ වැඩසටහන යටතේ මින් ඉදිරියට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන සියලුම පාසල් සඳහා එකම වර්ගයේ පන්දුවක් භාවිතා කරවීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ක්‍රිකට් විධායක කමිටුවේ සංකල්පයකට අනුව ඉදිරි පාසල් තරග වාරය නියෝජනය කරනු ලබන පාසල් 436 සඳහා පිරිනැමෙනු ලැබෙන සමස්ථ පන්දු සංඛ්‍යාව එකොළොස් දහස් පන්සිය තිස් හයක් (11,536) වේ.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේද සහයෝගය ඇතිව සිදු කිරීමට නියමිත මෙම පන්දු ප්‍රධානයේදී රතු පන්දුවට අමතරව පළමු පෙළ පාසල් තරගාවලිය නියෝජනය කරනු ලබන පාසල් 36 සඳහා සුදු පන්දුද පිරිනැමෙනු ඇත. ඒ අනුව පළමු පෙළ ක්‍රීඩා කරනු ලබන පාසල් 36 සඳහා සුදු පන්දු 12 බැගින්ද රතු පන්දු 36 බැගින් වශයෙන් සමස්ථ පන්දු 1728 ක් පිරිනැමිණ.
මෙම පන්දු බෙදා දීමේ වැඩසටහන 2025 අගෝස්තු මස 30 වැනි දින (අද) පෙ.ව. 9.30 ට කොළඹ ඩී. එස්. සේනානායක විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැති පාසල් තරග මාලාවේ තරග කාල සටහන ප්‍රකාශ කිරීමේ සාකච්ඡාවට සමගාමීව පැවැත්විණ.
මෙහිදී පළමු පෙළ ක්‍රීඩා කරනු ලබන පාසල් 36 ට අමතරව දෙවැනි පෙළ තරගාවලිය නියෝජනය කරනු ලබන පාසල් 36 සඳහා එකම වර්ගයේ පන්දු හෙවත් ජී.ඕ.සී. ග්‍රේස් පන්දු වර්ගය භාවිතයට ගැනෙන අතර තෙවැනි පෙළ ක්‍රීඩා කරනු ලබන පාසල් සඳහා එස්.එෆ්. වර්ගයේ පන්දු පිරිනැමිණ. ඒ අනුව දෙවැනි පෙළ තරගාවලිය නියෝජනය කරනු ලබන පාසල් 36 සඳහා එක් පාසලකට පන්දු 42 වන සේ පන්දු 1512 ක් පිරිනැමිණ.
මීට අමතරව තෙවැනි පෙළ තරගාවලියේ පළමු කාණ්ඩය නියෝජනය කරනු ලබන පාසල් 64 සඳහා සෑම පාසලකට පන්දු 30 බැගින්ද දෙවැනි කාණ්ඩය නියෝජනය කරනු ලබන පාසල් 300 සදහා පන්දු 18 බැගින්ද මෙම පන්දු ප්රදානයේදී පිරිනැමිණ.
මේ සියලු පන්දු ලබා දෙන ලද්දේ මූලික වටය යටතේ පැවැත්වෙන තරග සඳහා පමණක් වන අතර දෙවැනි වටයේ සිට අවසන් මහ තරගය දක්වා අවශ්‍ය වන සියලුම පන්දුද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දෙනු ඇත. ඒ අනුව දෙවැනි වටයේ සිට අවසන් මහ තරගය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිරිනැමෙන සමස්ථ පන්දු සංඛ්‍යාව 976 කි.
| තරග වදින කාණ්ඩය | පාසල් සංඛ්‍යාව | පාසලකට ලබා දෙන පන්දු සංඛ්‍යාව | එකතුව |
| පළමු පෙළ පාසල් සඳහා (රතු 36 + සුදු 12) | 36 | 48 | 1728 |
| දෙවැනි පෙළ පාසල් සඳහා | 36 | 42 | 1512 |
| තෙවැනි පෙළ (i කාණ්ඩය) | 64 | 30 | 1920 |
| තෙවැනි පෙළ (ii කාණ්ඩය) | 300 | 18 | 5400 |
| දෙවැනි වටය | |||
| පළමු පෙළ | 210 | ||
| දෙවැනි පෙළ | 168 | ||
| තෙවැනි පෙළ | 598 | ||
| එකතුව | 436 | 11,536 |
මාධ්‍ය අංශය
ශ්‍රී ලංකා ක්‍රිකට්





