“
නොබෝදා නිමාවට පත් වු 2025 අන්තර් සමාජ ප්‍රධානම එක්දින ක්‍රිකට් තරගාවලිය මෙරට යෞවන ක්‍රිකට් ක්‍රීඩකයන් විශේෂ දස්කම් දැක් වු තරගාවලියක් ලෙසට ක්‍රිකට් ඉතිහාසයට එක් වනු නිසැකය.
ජූනි මස 27 සිට ජූලි 21 දක්වා පැවැති මූලික වටයේ තරගාවලියේ දී ද යොවුන් ක්‍රීඩකයන්ගේ පන්දුවට පහරදීම පන්දු යැවීම සහ පන්දු රැකීමේ දක්ෂතා මනාව කැපී පෙනුණි. ශතක රැස් කිරීම් කඩුලු පහ ඉක්මවා දවාලීම් ගණනාවක්ම තරගාවලියේ මූලික වටය පුරාම දක්නට ලැබිණි.
මූලික වටයේ මේ යෞවනයන් දැක් වු දක්ෂතා අවසාන පූර්ව තරග දෙකේ දී සහ අවසාන මහා තරගයේ දී පැහැදිලිවම සනාථ විණි.
ක්‍රීඩකයන් රැසක්ම ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම නියෝජනය කරමින් ඔස්ට්‍රේලියානු සංචාරයට සහභාගි වු අතර ඔවුන් පෙරළා නැවත දිවයිනට පැමිණි පසු අන්තර් සමාජ එක්දින තරගාවලියට එක්ව අවසාන පූර්ව තරග දෙකේ දී සහ අවසාන මහා තරගයේ දී විශිෂ්ට කුසලතා ප්‍රදර්ශනය කිරීමෙන් තරගාවලිය නවතම මුහුණුවරකට පෙරළිණි. එහිදී ද යෞවනයන්ගේ දක්ෂතා කැපී පෙනුණි.
2025 අන්තර් සමාජ එක්දින ප්‍රධාන ක්‍රිකට් තරගාවලිය සංවිධානය කිරීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන අරමුණු වුයේ ඉදිරියේ පවතින ලෝක කුසලාන (විස්සයි 20) තරගාවලියට පෙරහුරු පුහුණුව ලැබීම, යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයනට දක්ෂතා දැක්වීමට අවස්ථාව සැපයීම සහ දේශීය ක්‍රිකට් සංවර්ධනයට අත දීමත්ය.
පොලිසිය සහ කෝල්ට්ස් අතර පැවැති ප්‍රථම අවසාන පූර්ව තරගයේ දී පොලිස් ක්‍රීඩා සමාජයට නායකත්වය දුන් 26 හැවිරිදි අෂේන් බණ්ඩාර තරගාවලිය පුරාම කැපී පෙනුණු දක්ෂතා දැක් වු පිතිකරුවෙකි. අවසාන පූර්ව තරගයේ දී අෂේන් බණ්ඩාර නොදැවී ලකුණු 55ක් රැස් කරමින් තම කණ්ඩායම අවසාන තරගයට ගෙන යාමට මුල් විණි.
පොලීසියේ 24 හැවිරිදි දිලුම් සුධීර (36/4) සහ 21 හැවිරිදි ධනුජ ඉඳුවර (24/3) දැක් වු දක්ෂතා මත කෝල්ට්ස් ඉනිම 143කට සීමා විණි. කෝල්ට්ස් ඉනිමේ දක්ෂම පිතිහරඹය මතු වුයේ 26 හැවිරිදි ධනංජය ලක්ෂාන් (ලකුණු 33) ගෙනි. පොලීසිය කඩුලු හතරකින් ජය ගන්නා අවස්ථාවේ කෝල්ට්ස් වෙනුවෙන් 22 හැවිරිදි දුනිත් වෙල්ලාලගේ (22/2) 24 හැවිරිදි දිල්ෂාන් මධුශංක (41/2) දක්ෂම පන්දු යැවීමේ නිරත විණි.
දෙවන අවසාන පූර්ව තරගයේ දී සී.සී.සී. ලකුණු 68කින් ටැමිල් යුනියන් පරාජයට පත් කළේ පහසු ආකාරයෙනි. සී.සී.සී. නායක 24 හැවිරිදි සොනල් දිනුෂ නොදැවී ලකුණු 83ක් ද 22 හැවිරිදි පවන් රත්නායක ලකුණු 63ක් ද 22 හැවිරිදි සහන් කෝසල ලකුණු 48ක් ද රැස් කර වැඩිම ලකුණු ලාභීන් බවට පත් විණි. ටැමිල් යුනියන් වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළේ ලකුණු 76ක් රැස් කළ 25 හැවිරිදි සිතාර හපුහින්න සහ ලකුණු 56ක් රැස් කළ 19 හැවිරිදි ෂාරුජන් ෂන්මුගනාදන්ය. 26 හැවිරිදි කමිඳු මෙන්ඩිස් ටැමිල් යුනියන් ඉනිමේ කඩුලු හතරක් දවාලුවේ ලකුණු 43ක් ලබා දෙමිනි.
සී.සී.සී. සහ පොලිසිය අතර අවසාන මහා තරගයේ දී ද හොඳම දක්ෂතාවය දක්නට ලැබුණේ 22 හැවිරිදි පවන් රත්නායක (නොදැවී 158) සහ නායක 24 හැවිරිදි සොනල් දිනුෂ (53) සිව් වන කඩුල්ලට එක් කළ ලකුණු 190ක ජයග්‍රාහී සබඳතාවයෙනි. 25 හැවිරිදි නිශාන් මධුෂ්ක ලකුණු 88ක් රැස් කර සී.සී.සී. දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්විණි.
පොලිසිය අඩු ලකුණු සංඛ්‍යාවකට (ලකුණු 200කට) දවාලීමට මුල් වු සී.සී.සී. කණ්ඩායමේ 20 හැවිරිදි ඉනුක කරන්නාගොඩ ලකුණු 32කට කඩුලු හතරක් බිඳ දැමීය.






