ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එහි නිල ක්‍රිකට් ඇඳුම් සහකරු වන මූස් ක්ලෝතින් සමාගම (Moose Clothing Company) එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග දිනවලදී භාවිතා කරන නිල ඇඳුම් අද (15 දා) පස්වරුවේදී එළි දක්වනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ මූස් ක්ලෝතින් සමාගම එක්ව ඩිජිටල් මාධ්‍ය ඔස්සේ එළි දක්වන ලද මෙම තරග දින “නිල ඇඳුම් කට්ටල “ (Team Kits) ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ රෙදිපිළි වෙළෙඳසල් හරහා ක්‍රීඩා ලෝලීන්ට මිලදී ගැනීමේ හැකියාව පවතිනු ඇත.
දියුණු ඇඟලුම් තාක්ෂණික ක්‍රම භාවිතයෙන් නිර්මාණය කරන ලද මෙම ඇඳුම් කට්ටල ක්‍රීඩකයින්ගේ සුව පහසුව වැඩි දියුණු කිරීම, වාතය සම්ප්‍රේෂණය කර ගැනීමේ හැකියාව පහසු කරවීම මෙන්ම ඉහළ තීව්‍රතාවයකින් යුත් තරග වලදී වැඩි සංචලනතාවක් ඇති කිරීමට වැඩි අවස්ථාවක් ලබා දෙනු ඇත.
ඒ අනුව ජාත්‍යන්තර එක්දින සහ ජාත්‍යන්තර විස්සයි-20 තරග කාණ්ඩ වෙනුවෙන් යොදා ගැනෙන ඇඳුම් කට්ටල එළැඹෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයේ සිට දිග හැරෙන අතර ටෙස්ට් තරග සඳහා භාවිතයට ගැනෙන සුදු ඇඳුම් කට්ටලය ඉකුත්දා බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියේ සිට භාවිතයට ගනු ලැබීය.
ටෙස්ට් තරග නිල ඇඳුම
සම්ප්‍රදායික සුදු වර්ණයෙන් යොදා ගැනෙන ටෙස්ට් ඇඳුම් කට්ටලය, නවෝත්පානදනයේ පරිපූර්ණ මිශ්‍රණයක් හරහා උපරිම සංචලන නිදහස, ධාරිතාව සහ වායු සම්ප්‍රේෂණය වන අන්දමින් නිර්මාණය කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වර්ණයන් ලෙසින් භාවිතා කෙරෙන නිල් සහ කහ වර්ණය යොදා ගනිමින් සකස් කොට ඇති දාරයන් වලට අමතරව දැල් පැනල යොදා ගැනීම තුළින් තරග අවස්ථාවන්හිදී ක්‍රීඩකයින්ට වඩාත් සිසිලසකින් යුක්තවය දිගු වේලාවක් ක්‍රීඩා කිරීමේදී පහසුව සැලසෙනු ඇත.
එක්දින තරග නිල ඇඳුම
80 සහ 90 වැනි දශකවලදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග වලදී භාවිතයට ගැනුණු සුප්‍රසිද්ධ වර්ණ විලාසිතාව යළිත් වරක් පණගන්වමින් මෙවර එක්දින කණ්ඩායම සඳහා වන ඇඳුම් කට්ටලය නිර්මාණය කර ඇත. තද නිල් පැහැයෙන් යුත් ඇඳුම් කට්ටලයෙහි කහ වර්ණයෙන් යුත් තීරුවක් යොදා ගනිමින් මෙම නිල ජර්සිය නිර්මාණය කර ඇත. ශ්‍රී ලාංකේය නාමය වඩාත් පැහැදිළිව දර්ශණය වන අයුරින් ඝණ අකුරින් යුක්තව නිර්මාණය කොට ඇති එක්දින තරග නිල ඇඳුම සුවපහසුභාවය සහ අල්ප බරින් යුක්තය.
විස්සයි-20 තරග නිල ඇඳුම
ශ්‍රී ලාංකේය ඇඟලුම් කර්මාන්තයේ විශිෂ්ඨත්වය ජාත්‍යන්තරයට විදහා දැක්වීමේ අරමුණින්, කහ වර්ණය මූලික කරගෙන මෙම ජර්සිය නිර්මාණය කොට තිබේ. තවද නිල් සහ කහ වර්ණයෙන් යුත් රේඛිය හැඩ තල මෙම සම්පූර්ණ ඇඳුම් කට්ටලයට, ක්‍රීඩා පිටිය තුළදී දැඩි දැකුම් කලු බවක් එක් කරන බව නොඅනුමානය. මෙම ජර්සියේ තවත් සුවිශේෂීත්වයක් වන්නේ මෙය V කොලරයකින් සමන්විත වීම වේ. විස්සයි-20 තරග රටාවේ පවතින වේගවත් භාවය සහ ඉහළ තීව්‍රතාව මූලික කොට ගෙන, මෙම කොලර ශෛලය යොදා ගෙන ඇත.
නව ඇඳුම් කට්ටල පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා අදහස් දක්වමින්, “ජාත්‍යන්තර පිටියේ ඉදිරියට යෑම සඳහා අඛණ්ඩ උත්සාහයක් ගනු ලබන ආයතනයක් ලෙස මූස් සමාගම සමඟ එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අති නවීන තාක්ෂණය යොදා ගනිමින් මෙම ඇඳුම් කට්ටල නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලාංකේය ක්‍රිකට් උරුමය, කාර්යය සාධනය සහ ජාතික අභිමානය ද සමඟ ක්‍රීඩකයින්ට ඉහළම සුවපහසුභාවය ලබා දෙමින්” යනුවෙනි.
“මෙය හුදෙක්ම ක්‍රීඩා ඇඟලුමකටම පමණක් සීමා වූවක් නොවෙයි. එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උරුමයන් ලොවට විදහා දක්වන්නක්ද වේ. ක්‍රීඩකයින්ට මෙන්ම ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් ද ගෞරව පූර්වකව උනන්දුවෙන් යුතුව ඇඳුමක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි“ යැයි මූස් ක්ලෝතින් සමාගමේ අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී හෂීබ් ඕමාර් මහතා සඳහන් කර සිටියේය.






