slc
logo
Home   |    News
සැප්තැම්බර් 28, 2025
තියුණු තරගයකින් පසු බංග්ලාදේශයට එරෙහි පෙරහුරු තරගය පරදියි

sinhala editor

කාන්තා ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන පෙරහුරු තරගයක් වුවද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී අති තියුණු තරග විලාශයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම හමුවේ ලකුණක තියුණු පරාජයක් ලද. ලකුණු 243 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකාරිිණියන්ගේ අවසන් කඩුලු 5 ම ලකුණු 28 ක් ඇතුළත දැවී යෑම නිසා ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 50 අවසනදී රැස් කර ගත හැකි වූයේ ලකුනු 241 ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිලක්ෂි ද සිල්වා (75) ක් සහ කවීෂා දිල්හාරි (63) එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට දැඩි වෙහෙසක් ගත් නමුත්, තරගයේ අවසන් භාගයේදී බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ තරගය තමන් වෙත නතු කර ගත්හ.

මෙම හඹා යෑමේදී ප්‍රතිවාදීන්ගේ මූලික බලාපොරොත්තුව බවට පත්ව සිටින චමරි අතපත්තුව ලකුණු 08 කට දැවී යෑම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් විය. නායිකාව දැවී ගියද කණ්ඩායම ඉදිරියට රැගෙන ගිය හසිනි පෙරේරා (34) සහ හර්ෂිතා සමරවික්‍රම (25) පෙරමුණ පෙරළුණු ශ්‍රී ලංකා ඉනිම යලි සකස් කර දුන්හ. එහෙත් විශ්මි ගුණරත්න ලකුණු නොලබා දැවී යෑමත් හර්සිතා සමරවික්‍රම දැවී යෑමත් නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 86 කට කඩුලු 4 ක් ලෙසින් සටහන් විය.

ජයග්‍රහණය සදහා ලකුණු 157 ක් පසුපසින් සිටි අවස්ථාවේදී පිටියට එක් වුණු නිලක්ෂි ද සිල්වා සහ කවීෂා දිල්හාරි පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 98 ක් එක් කළේ ශ්‍රී ලංකා බලාපොරොත්තු තවත් දුරටත් ඉහළ නංවමිනි. මෙවුන් දෙදෙනාගේ පිතිහරඹය නිසා අවසන් පන්දුවාර 10 දී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 59 ක් අවශ්‍ය වූ අතර ඒ වන විටත් අර්ධ ශතක ලාභිණියන් දෙදෙනා පිටියේ රැඳී සිටීම ශ්‍රී ලංකාවට මහත් අස්වැසිල්ලක් විය.

එහෙත් දැවී යෑම් අතර ඉතා විරළ අවස්ථාවක් වන කඩුල්ල පිත්තේ වැදීම නිසා කවීෂාට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය. එතැන් සිට තරගයේ පාලනය යළිත් ලබා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නියෝ සමත්වීම නිසා නිලක්ෂිකාට තරමක් වේගයෙන් පන්දුවට පහර දීමට සිදුවිය.

එහෙත් අවසන් පන්දු 12 දී ලකුණු 12 ක් ලබා ගැනීමට තිබියදී නිලක්සි පිටියෙන් ඉවත්වීම ශ්‍රී ලංකාව දැඩි අසරණ කරවන්නක් විය. පිතිකරණ ලැයිස්තුවේ අංක 7 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි පියුම් වත්සලා (17) හැරුණු කොට ඊට පස්පසින් පැමිණි කිසිම පිතිකාරිනියකට ඉලක්කම් දෙකේ ලකුණු සංඛ්‍යාවන් කරා යෑමට බංග්ලාදේශ පන්දු යවන්නියෝ අවස්ථාව ලබා නොදුන්හ.

රැක ගත යුතුම මට්ටමේ උඩ පන්දු 3 ක් ගිලිහී යෑමේ වාසිය මිට මොළවා ගත් බංග්ලාදේශ පිතිකාරිණියෝ පන්දුවාර 50 අවසනදී කඩුු 8 කට ලකුණු 242 ක් ලබා ගත්හ. උදේශිකා ප්‍ර බෝධනී පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගනිමින් සාර්ථක ප්‍ර වේශයක් ලබා ගත්තද රුබියා හයිදර් (33) සහ ශාර්මින් අක්ටාර් (71) බංග්ලාදේශ පිල සැනසිලි දායක තත්ත්වයකට රැගෙන ගියහ.

බංග්ලාදේශ පිතිකාරිණියන් මට්ටු කිරීම සඳහා ශ්‍රී ලංකා නායිකාව පන්දු යවන්නියන් 8 දෙනෙකුගේම සහාය ලබා ගත්තද ප්‍රතිවාදී පිතිකාරිණියෝ ඉලක්කය කරා ගියහ. බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු 6 ම ලකුණු 154 කදී බිඳ දැමීමට ශ්‍රී ලංකාව සමත් වූ නමුදු 7 වැනි, 08 වැනි සහ 09 වැනි කඩුලු අතර පිළිවෙළින් 58, 17 සහ 13 වශයෙන් කඩුලු සම්බන්ධතා පැවැත්වීමට සමත්වීම නිසා ඔවුහු 242 ක් ලකුණු පුවරුවේ රැඳවූහ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයට සහභාගිවීම සදහා හෙට (28 දා)  පෙරවරුවේදී ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 242 යි – (රූබියා හයිදර් 33, ශාමින් අක්ටාර් 71, නිගර් සුල්තානා 20, ශෝනා අක්ටර් 13, සුමයියා අක්ටාර් 38, ෆාතිම් කතුන් 26*, රාබියා ඛාන් 10, මල්කි මදාරා 38/2, කවීෂා දිල්හාරි 24/2, දෙව්මි විහංගා 26/2)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 50 කදී සියලු දෙනා දැවී ලකුණු 241 යි – (හසිනි පෙරේරා 34, හර්ෂිතා සමරවික්‍රම 25, කවීෂා දිල්හාරි 63, නිලක්ෂි ද සිල්වා 75, පියමි වත්සලා 17, මරුෆා අක්ටාර් 49/2, නහීධා අක්ටර් 28/3, ෆාහිමී කතුන් 38/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee