slc
logo
Home   |    News
සැප්තැම්බර් 2, 2025
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිකරන ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ජාතික සමගියේ සංකේතයක් –  ක්‍රීඩා ඇමැති

sinhala editor

යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හා ක්‍රීඩා නගරය ජාතික සමගියේ සංකේතයක් වනු ඇතැයි තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා පැවැසීය. යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාව ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (1)  යාපනය මණ්ඩතිව් දූපතේ දී සිදු කෙරිණි.

එහිදී ක්‍රීඩා ඇමැතිවරයා පැවැසුවේ ක්‍රීඩා සංගම් දියුණු කිරීම හරහා, මෙරට තුළ ක්‍රීඩා සංස්කෘතියක් බිහි කරලීමට මේ වනවිටත් අවශ්‍ය සියලු මැදිහත්වීම් සිදු කරන බවත්, යාපනයේ ඉදිකරන මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය  දශක ගණනාවක් තිස්සේ බලාපොරොත්තු වූ හීනයක් සැබෑ කර ගැනීමක් ලෙස සලකන බවත්ය. මෙවැනි ඉදිකිරීමක් නිර්මාණයවීම, එහි ජීවත් වන දරු දැරියන්ට පමණක් නොව, සියලුම දෙනාටම මහඟු සම්පතක් වන බව ඇමැතිවරයා අවධාරණය කළේය.

“ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන නව රජයේ වැඩපිළිවෙලට අනුව රට පොහොසත් වනවා සේම, ජීවතය ලස්සන කිරීමට, සියලුම ප්‍රදේශ වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාවට අවස්ථාවන් උදා කරලීම රජයේ බලාපොරොත්තුවයි. අපි අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ආරම්භ කරන යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සමඟ ඉදිවන යාපනයේ ක්‍රීඩා නගරය මුල්ගල් තබන දවස ඓතිහාසික දවසක් බවට පත්වෙනවා. අපි හැමෝම දන්නවා ඒකට හේතුව. මේ වගේ ඉදිකිරීමක් මේ වගේ නිර්මාණයක් මේ නගරයට එන එකම මා හිතන්නේ මේ ප්‍රදේශවල දරු දරුවන්ට පමණක් නෙවෙයි මේ ප්‍රදේශයේ ජීවත්වෙන සියලු දෙනාටම ආශිර්වාදයක් වගේම ආස්වාදයක් තමන්ගේ ජීවිතවලට ලැබෙනවා. මේ වගේ ක්‍රීඩාවට ගේන නිර්මාණ සහ අවස්ථාව ලබාදීම අපේ රජයේ ප්‍රධාන බලාපොරොත්තුවක්“

“මේ අද ඉදිකරන ක්‍රීඩා පිටිය ජාතික සමඟියේ සංකේතයක්. මේක ක්‍රීඩා පිටියත් විතරක්ම නෙමෙයි. දශක ගානක් අපේ ඔලුවේ තිබිච්ච බරක් අපේ තිබිච්ච හීනයක් අපි අද මේ යථාර්ථයක් කරගන්න දරන උත්සාහයක්. අපි සියලු දෙනාම එකතුවෙලා අපේ මේ හීනය අපි යථාර්ථයක් බවට පත්කර ගමු. ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම එකතුවෙලා අපේ රට නැවතත් ජාත්‍යන්තර තලයේ ලෝකයේ දියුණු ලස්සනම රටක් බවට පත් කරමු ඒ සඳහා මේ වගේ උත්සාහයන් මේ වගේ නිර්මාණයක් අපි නැවත නැවත කරමු. අපි සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාම එක ජාතියක් විදිහට එකතුවෙලා අපි මේ රට ගොඩනගමු. ඒ සඳහා ඔබ සියලු දෙනාට ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා“ ඇමැතිවරයා පැවැසීය.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar