සිංහල, දෙමළ, මුස්ලිම් තරුණයන් නියෝජනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායමක් සහ සියලු ජාතීන්ට අයත් ජනතාව එකම ප්‍රේක්ෂකාගාරයක ඔල්වරසන් නගන රාජ්‍යයක් තම සුබ සිහිනය බවත් මේ වෙනුවෙන් කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තුති පුද කරන කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේදී පැවැසීය.
දිගු කාලීන සැලැස්මක් යටතේ මණ්ඩතිව් දූපතේ අක්කර 138 භූමි භාගයක් පුරා ජාත්‍යන්තර මට්ටමේ ඉහළ පහසුකම්වලින් සමන්විත ‘ක්‍රීඩා නගරයක්’ ඉදි කිරීම උදෙසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද දින මුල්ගල් තබන ලද අතර එහිදී පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා ඉහත අදහස් පළ කර සිටියේය.
“මා හිතනවා අද සුවිශේෂී දවසක්. අපේ රටේ ක්‍රීඩාවන් විශාල ප්‍රමාණයක් තිබුණත් ක්‍රිකට් ක්‍රීඩාව ඒ අතර සුවිශේෂ ක්‍රීඩාවක් බවට පත්ව තිබෙනවා. පසුගිය දශක කිහිපයක් පුරාවට ශ්‍රී ලංකාව පිළිබද ජාත්‍යන්තරයට ඇති කළ ප්‍රවෘත්ති යහපත් ප්‍රවෘත්ති නොවෙයි. තිස් වසරක යුද්ධයක අමිහිරි ප්‍රවෘත්ති. ආර්ථිකය කඩා වැටීම පිළිබඳ ප්‍රවෘත්ති. අල්ලස හා දූෂණය විශාල ප්‍රමාණයක වර්ධනය වූ රටක් පිළිබඳ ප්‍රවෘත්ති. එවැනි වූ අයහපත් ප්‍රවෘත්ති අපේ රට පිළිබඳ ජාත්‍යන්තරයේ ප්‍රකාශයට පත්වන කොට අපේ රට පිළීබඳ සුබදායි ප්‍රවෘත්ති නිර්මාණය කළ දේවල් අතර ප්‍රධානම දේ වුණේ ක්‍රිකට් ක්‍රීඩාව. ඒ නිසා මේ ක්‍රිකට් ක්‍රීඩාව අපට වැදගත්“ යැයිද ජනාධිපතිවරයා සිය කතාව ආරම්භ කරමින් සඳහන් කර සිටියේය.
මේ ක්‍රීඩා නරගය පිහිනුම් තටාකාංගණයක්, අනෙකුත් ක්‍රීඩාවලින් සමන්විත අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරයක්, තරු පන්තියේ හෝටල් හා අවන්හල්, සුඛෝපභෝගී මහල් නිවාස, සාප්පු සංකීර්ණ මෙන්ම විනෝදාස්වාද මධ්‍යස්ථානවලින්ද සමන්විත වනු ඇත.
මෙහි අක්කර 48ක් පුරා විහිදෙන ක්‍රිකට් ක්‍රීඩාංගණය අදියර 4ක් යටතේ ඉදිවන අතර, එය මධ්‍ය තණතීරු 10කින් සමන්විත වනු ඇත. එහි පළමු අදියර ලෙස තරග පැවැත්විය හැකි මට්ටමට ක්‍රීඩාංගණය සහ ක්‍රීඩාගාරය ඉදි කෙරෙනු ඇත.
දෙවැනි අදියර යටතේ ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය සහ මාධ්‍ය කුටිය ද, තෙවැනි අදියර යටතේ සෙසු ප්‍රේක්ෂකාගාර ඉදිකිරීමට නියමිත අතර, අවසන් අදියරේදී විදුලි අලෝක පද්ධතිය ස්ථාපිත කිරීමටද නියමිතය.
යාපනය, වෙලනෙයි ප්‍රාදේශීය සභාව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දී ඇති භූමියක ඉදි කෙරෙන මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ 40,000කට ආසන්න ප්‍රේක්ෂක සංඛ්‍යාවකට තරග නැරඹීමේ අවස්ථාව හිමි වේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ජනාධිපතිවරයා මෙසේද සඳහන් කර සිටියේය.
“අපේ රටේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ කොතරම් තිබුණත් මේ යාපනය ප්‍රදේශයේ අද ඉදිවන ක්‍රීඩාංගණය වැදගත්. අපි දන්නවා පසුගිය මැතිවරණවලදී මේ උතුරේ ජනතාව වැදගත් තීරණයක් ගත්තා. ශ්‍රී ලංකාවේ පළමු වතාවට ජාතික ආණ්ඩුවක් කෙරහි ජනතාව විශ්වාසය තැබුවා. බෙදිලා හිටපු ජාතියක්. එකිනෙකා සැකයෙන් අවිශ්වාසයෙන් තිබූ රාජ්‍යයක්. ඉතාමත් අමානුෂික ගැටුම්වලින් සමන්විත වූ රාජ්‍යයක්. පළමු වතාවට ජනතාව මැතිවරණයේදී එක තීන්දුවක් ගත්තා. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ උතුර, දකුණ, නැගෙනහිර එකතු කරන ලද මැතිවරණ තීන්දුව හා ආණ්ඩුව. එම ජනතාව අප කෙරෙහි තබන විශ්වාසය මතම අපට පැවැරී ඇති අභියෝගය විශාලයි. ඔවුන් පියවරක් අප වෙත තබා තිබෙනවා දහස් ගනන් පියවරක් යෑම අරමුණින්. ඔවුන් අපේ අත්වැල් බැදගෙන සිටිනවා තවත් දිගු කාලයක් අත් නොහරින අදහසින්. අපිත් එක්ක දිගු ගමනක් එනවාද? අත්වැල් අත් හරිනවාද? එය තීරණය කරන්නේ අපි අපිමයි. ඒ නිසා අපේ අරමුණ බවට පත්වෙන්නේ කුමක්ද? අපේ දෑතින් අල්ලාගත් උතුරේ ජනතාව පියවර කිහිපයක් අපි සමඟ ගමන්කොට සිටින ජනතාව. ලාංකේය ජාතිය ගොඩනඟනතුරු අත්නොහැර ඉදිරියට ගෙන යෑම අපේ අපේක්ෂාවයි“ ජනාධිපතිවරයා පැවැසීය.
“එය හුදු වාක්‍යවලට පමණක් කළ හැකි දෙයක් නොවෙයි. ඒ සදහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් අපට අවශ්‍යයි. අපි ගොඩෙක් දේ බෙදලා සමරනවා. තෛපොංගල් දෙමළ ජනතාව සමරනවා. රාමසාන් මුස්ලිම් ජනතාව සමරනවා. වෙසක් උත්සවය සිංල බෞද්ධ ජනතාව සමරනවා. නත්තල් කිතුණු ජනතාව සමරනවා. අපිට බෙදිලා සමරන අවස්ථා ගොඩක් තියෙනවා. හැබැයි මා හිතනවා අපිට එක්ව සැමරිය හැකි අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපි ලබන ජයග්‍රහණ. 1996 ලෝක කුසලානය ජයගත්ත කාලය කියන්නේ යුද්ධය පැවැති කාලයක්. මේ උතුර එවැනි සන්නද්ධ ව්‍යාපාරයන්ට යටත්ව තිබූ කාලයක්. හැබැයි මා අසා තිබෙනවා ඒ ලෝක කුසලානය තරග කළ දවසේ එම සටන් කරුවන් ද අවි බිම තබා තරගය නැරැඹූ බව. එහෙනම් මොකක්ද මේ තියෙන්නේ. සියලු සීමාවන්, සියලු වෙනස්කම්, දෙවැනි කොට අපිට ක්‍රීඩාවෙන් මේ ජනතාව එක්කළ හැකි බව මේ පෙන්නුම් කරන්නේ. අන්න ඒ නිසා මේ ක්‍රීඩාංගණය වැදගත්. මා විශ්වාස කරනවා මෙය හුදු ක්‍රීඩාංගණයක් නොවෙයි. මේ අපේ රටේ සමඟිය ගොඩනැගීම සදහා ගොඩනගන විශේෂ අවස්ථාවක්. අපි අනාගතයේ සුබ සිහිනයක් දකිනවා. හොද ජාතික කණ්ඩායමක්. ඔවුන් ක්‍රීඩාංගණයේ තරගවදින කොට ක්‍රීඩාගාරයේ වාඩිවෙලා සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම එකට ඔල්වරසන් නඟන රාජ්‍යයක්. ඒ සිහිනය අපි යථාර්ථයක් බවට පත්කර ගත යුතුයි. එය වැදගත් අවස්ථාවක්. අපි කිසිසේත්ම යළි අපේ රටේ යුද්ධයක් අපේක්ෂා ක නෑ. බොහෝ අය තමන්ගේ ප්‍රතිපතක්තීන්. ක්‍රියා කාරකම් සකස් කරන්නේ යුද්ධයක් ආවොත් මුහුණ දෙන්න. අපේ ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් සකස් කර ගන්නේ යුද්ධයක් ඇති නොවෙන්න. කුමක්ද අවශ්‍ය ප්‍රතිපත්තිය යුද්ධයක් ආවොත් සූදානමද? යුද්දයක් ඇති නොවන ප්‍රතිපත්තීන්ද? මා හිතනවා වඩාත් ඉදිරිගාමී වන්නේ යුද්ධයක් ඇති නොවන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. නිරන්තරයෙන් උතුරේ හා දකුණේ යළි යුද්ධයක් පිළිබඳ අනියත බියක් ඇති කරනවා. ඒ තුල ඇතිවී තිබෙන්නේ දේශපාලනයක්. පොදු ජනතාව එතැන නෑ. ඒ නිසා අපි අපේක්ෂා කරන්නේ කුමක්ද? සමගියෙන් පිරි රාජ්‍යයක්. සිංහල දෙමිළ මුස්ලිම් අපි ඔක්කොම එකට සෝදරත්වයෙන් ජීවත්වන රාජ්‍යයක්. ඒ සදහා ඉතා හොද අඩිතාලමක් මේ ක්‍රිකට් ක්‍රීඩාංගණය වගේම එය කේන්ද්‍රෙකාට ගොඩනඟන ක්‍රීඩා නගරය වැදගත්කමක් උසුලාවි. සභාපතිතුමා හා එහි නිලධාරීන් මා හමුවී ඇත්තේ එක් අවස්ථාවයි. ඒ අවස්ථාවේදී මා කිව්වේ මෙය පටන් ගන්න. ඔබට අවහ්‍ය සහය කුමක්ද අපි ලබා දෙන්නම්. අපිට එක්සත් වුවමනාවක් තියෙනවා. මේ රට යළි ජාතිවාදයට තල්ලු නොකර ඉන්න. එ් සදහා විශාල පිටුවහලක් මේ ක්‍රීඩාංගණය. එපමණක් නොවේ අද ක්‍රීඩාව සමඟ විශාල ආර්ථකයක් ගොඩනැගී තියෙනවා. එක යුගයක් ක්‍රීඩාව යනු තරගයක් පමණයි. අද ක්‍රීඩාව යනු විශාල ආර්ථිකයක විභවතාවක්“ ජනාධිපතිවරයා පැවැසීය.
“ක්‍රිකට් භාණ්ඩාගාරිකතුමා සිය කතාවේදී පෙන්වා දුන්නා රුපියල් බිලියන 100ක ආර්ථිකයක් කරා ඔවුන් ගමන් කරන්න සූදානම් බව. එය ඉතාම වැදගත් අපේ රටේ ආර්ථිකයට. ඒ නිසා ඒ පැත්තෙනුත් මේ ක්‍රීඩාව සදහා සහය දෙන්න සූදානම්. අනෙක් පසින් ගත්තොත් අපේ රට සංචාරක කර්මාන්තයෙන් වේගයෙන් ඉදිරියට එනවා. හැබැයි උතුර සංචාරක කර්මාන්තයෙන් හොද ගමනාන්තයක් නොවෙයි. උතුර ඉතාම හොද සංචාරක කර්මාන්තයට විභවතාවක් තියෙනවා. ඒත් ජනප්‍රිය ගමනාන්තයක් නොවෙයි. හෝටල් කර්මාන්තය කරන අය දන්නවා. ඒ නිසා මෙවැනි ව්‍යාපෘති වැදගත්. මිනිස්සු ජීවත් වෙන්නේ කන බොන එකෙන් පමණක් නොවෙයි. මිනිාස් චිංතනයේ ඉතා වැදගත් සාධකයක් තමයි සතුට, මානසික සුවය. ඒවා මිනිස්සුන්‍ගේ වැදගත් කළාපයක්. මිනිස්සුන්ට ක්‍රියාකාරකම් අවශ්‍යයි. ොනවද තියෙන ක්‍රියාකාරකම්. තමුන්ගේ සතුට වෙනුවෙන්. ත.මන්ගේ වින්දනය වෙනුවෙන්. විශාල ක්‍රියාකාරකම් ගොඩ නොනැගුණ රාජ්‍යයක්. ඒ නිසා මිනිස්සුන්ට තියෙනවා සංස්කෘතිමය ජීවිතයක්. ඒ සංස්කෘතික ජීවිතයේ වැදගත් කොටසක් ක්‍රීඩාව. උතුරේ ජනතාවට සංස්කෘතික ජීවිතයේ අලුත් කළාපයක් විවෘත කළ යුතුයි. එහි වැදගත් ස්ථානයක් මේ ක්‍රීඩා නගරය උසුලනවා. ඒ නිසා හැම පැත්තකින්ම ගත්තාම අද මුල පුරන්නේ අපේ ජාතියේ හැරවුම් ලක්ෂයකට. මේක හැරවුම් ලක්ෂයක් අපේ ජාතියේ. ඒ බරෙන් සහ ඒ හැගුමෙන් යුතුව අපි මේක භාර ගන්නවා. හුදු ක්‍රීඩාංගණයක්. හුදු ක්‍රීඩාවක්. ඒ සරල අර්ථයෙන් නොවෙයි. අපේ රටේ හැරයුමක්. මා ස්තූතිවන්ත වෙනවා. සභාපතිතුමා මා දැන ගන්න කැමැතියි පළවෙනු මැච් එක කවදාද? මේ දෙසැම්බරයේ පළමු මැච්එක සෙල්ලම් කරනවා. පළමු ජාත්‍යන්තර තරගය අවුරුදු 3ක් ඇතුලත මේ යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සූදානම් වෙනවා. එය වැදගත් අපිට. ඒ නිසා මා හිතනවා මේ තබන ලද පියවර ඉතාම සාර්ථක පියවරක්. ඒ වෙනුවෙන් මුල පුරන ලද ක්‍රිකට් ආයතනයට බෙහෙවින් ස්තූතිය පුද කරනවා“ අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.






