slc
logo
Home   |    News
සැප්තැම්බර් 16, 2025
ඔස්ට්‍රේලියානු බාළිකා පිලට එරෙහි සටනට නවක මුහුණු දෙකක්

sinhala editor

වයස අවුරුදු 19 න් පහළ ඔස්ට්‍රේලියානු බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමට නවක ක්‍රීඩිකාවන් වශයෙන් දනෝද්‍යා සෙව්මිණී සහ මිතලි අයෝද්‍යා එක් කිරීමට කාන්තා ක්‍රිකට් තේරීම් වලදී පියවර ගෙන තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන අවු. 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම්වීම වෙනුවෙන් පවත්වනු ලබන මෙම තරගාවලිය පන්දුවාර විස්සයි-20 තරග 5 කින් සහ එක් යොවුන් බාළිකා එක්දින තරගයකින් සමන්විත වේ.

ඒ අනුව කණ්ඩායමට අලුතින්ම එක්ව සිටින දනෝදයා සෙව්මිණී පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන ආණමඩුව මැදි මහ විදුහලින්ද, මිතලි අයෝද්‍යා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පාසලක් වන කන්තලේ රජඇල විදුහලින්ද යොවුන් බාළිකා කණ්ඩායමට තේරී පත්ව සිටිති. මොවුන් දෙදෙනාම ක්‍රිකට් ක්‍රීඩා නොකරනු ලබන පාසල්වල දක්ෂතා සොයා යෑම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද ‘ක්‍රිකට් ගමට‘ ගවේෂණ චාරිකාව යටතේ සොයා ගන්නාලද ක්‍රීඩිකාවන් වීම කැපී පෙනෙයි.

ඉකුත්දා නිමාවට පත්වුනු ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය ද නියෝජන කළ මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා එහිදී පෙන්වන ලද දක්ෂතා පදනම්ව ක්‍රීඩිකාවන් 32 දෙදෙනෙකුගෙන් සමන්විත පුහුණු සංචිතයට තේරී පත්වූ අතර ඒ අතරතුරදී පවත්වන ලද පුහුණු තරග 10 දී කැපී පෙනන දක්ෂතා දක්වමින් තේරීම් කමිටුවේ අවධානය දිනා ගැනීමට සමත්ව වූහ. මොවුන් දෙදෙනාම දකුණතින් පිත්ත දකුණත් මඳ වේග පන්දු යවන්නියන් ලෙසින් කටයුතු කරති.

ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විතව නම් කර ලද යොවුන් කණ්ඩායමේ නායිකාව ලෙස සුපුරුදු පරිදි මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාරව නම් කර ඇති අතර ඇයගේ සහායිකාව ලෙසින් මාතර අනුර විදුහලේ තුන් ඉරියව් ක්‍රීඩිකා රශ්මිකා සෙව්වන්දිව නම් කර තිබේ. මොවුන් දෙදෙනාම ඉකුත්දා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ ක්‍රීඩිකාවෝ වෙති.

නම් කරන ලද ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායමට වැඩිම සාමාජිකාවන් සංඛ්‍යාවක් එක්ව සිටින්නේ රත්ගම දේවපතිරාජ විදුහලිනි. සංජනා කාවින්දි, වහිරුණි හංසිකා, නෙතඟි ඉසුරාංජලී, ශෂිනි ගිම්හානි සහ රශ්මි නේත්‍රාංජලී එම ක්‍රීඩිකාවන් පස් දෙනා වෙති.

මේ අතර එකම පවුලේ සොහොයුරියන් වන නෙතඟි ඉසුරාංජලී සහ රශ්මි නේත්‍රාංජලීද තේරී පත්ව සිටිති. ඒ අතරින් නෙතඟි තවමත් අවුරුදු 17 ක වයසේ පසුවන්නීය. ඉදිරි පෙළ පිතිකාරිණියක ලෙසින් කටයුතු කිරීමට අමතරව ඇය කණ්ඩායමේ කඩුලු රකින්නියක් ලෙසද කටයුතු කරන්නීය. ඇයගේ වැඩිමහල් සහෝදරිය රශ්මි වමතින් පන්දුවට පහර දෙන දකුණත් වේග පන්දු යවන්නියක ලෙසින් කටයුතු කරන්නීය. නෙතඟිට අමතරව එම විදුහලේම සංජනා කාවින්දි ද කණ්ඩායමේ අනෙක් කඩුලු රකින්නිය ලෙසින් කටයුතු කරන්නීය.

ශ්‍රී ලංකා බාළිකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටින ඔස්ට්‍රේලියානු බාළිකා කණ්ඩායම ඉකුත් බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මුණ ගැසුණු අතර එහිදී ඔවුන්ව පරාජයට කිරීමට ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ සංචිතය
නමපාසල
මනුදි නානායක්කාර (නායිකා)වේල්ස් කුමරි විදුහල – මොරටුව
සංජනා කාවින්දිදේවපතිරාජ විදුහල – රත්ගම
විමෝක්ෂා බාලසූරියසිංහල මහ විදුහල – ත්‍රිකුණාමලය
හිරුණි හංසිකාදේවපතිරාජ විදුහල – රත්ගම
නෙතඟි ඉසුරාංජලීදේවපතිරාජ විදුහල – රත්ගම
රශ්මිකා සෙව්වන්දි (උප නායිකා)අනුර විදුහල – මාතර
ශෂිනි ගිම්හානිදේවපතිරාජ විදුහල – රත්ගම
අසේනි තලගුණේමහාමායා විදුහල – මහනුවර
ප්‍රමුදි මෙත්සරාඋහන මහ විදුහල – අම්පාර
දනෝද්‍යා සෙව්මිණීආණමඩුව මැදි මහ විදුහල – පුත්තලම
චමුදි ප්‍රබෝධාපඤ්ඤානන්ද මහ විදුහල – මොණරාගල
ලිමන්සා තිලකරත්න 
රශ්මි නේත්‍රාංජලීදේවපතිරාජ විදුහල – රත්ගම
රිෂ්මි සංජනාඅනුර විදුහල – මාතර
මිතලි අයෝද්‍යාරජඇළ මහ විදුහල – කන්තලේ

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee