slc
logo
Home   |    News
ඔක්තෝබර් 16, 2025
අභියෝග දෙකක් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දකුණු අප්‍රිකාව මුණ ගැසෙති

sinhala editor

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 2 කටම වර්ෂාව හරස්වීම මත ප්‍රසාද ලකුණු 02 ක් පමණක් හිමිකරගෙන සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තවත් තරග 3 කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. මෙම තත්ත්වය මත ප්‍රසාද ලකුණු පුවරුවේ 07 වැනි ස්ථානය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලියැවී ඇතත් ඉතිරි තරග 3 ප්‍රතිඵල තමන්ට වාසි දායක වන ලෙස හසුරුවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුවහොත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම පිළිබඳව බලාපොරොත්තු රඳවා ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිවනු ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග වටයේ සහභාගිවන පස්වැනි තරගය හෙවත් දකුණු අප්‍රිකානු පිලට එරෙහි තීරණාත්මක එක්දින තරගයට ක්‍රීඩා කිරීම සඳහා හෙට (17 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පිවිසෙනු ඇත. ශ්‍රී ලංකාවට මෙන්ම තරගාවලියේ ඉදිරියට යෑම සදහා දකුණු අප්‍රිකානු කණ්ඩායමටද මෙම තරගයේ ප්‍රතිඵලය තීරණාත්මක සංධිස්ථානයක් බැවින්, කණ්ඩායම් දෙකෙන්ම ඉහළ දක්ෂතාවන් අපේක්ෂා කළ හැක.

ඉහතින් සඳහන් කළ අයුරින් දකුණු අප්‍රිකාවට එරෙහිව තරගයත්, බංග්ලාදේශයට සහ පාකිස්තානයට එරෙහිව  පැවැත්වෙන තරගත් ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට තවත් ප්‍රසාද ලකුණු 06 ක් හිමිකර ගැනීමේ අවස්ථාව උදාවනු ඇත. එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ සමස්ථ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 08 දක්වා ඉහළ යනු ඇත. මේ අතරින් හෙට පැවැත්වෙන දකුණු අප්‍රිකාවට එරෙහි තරගයත් ලබන 24 වැනිදා පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත තරගයත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර බංග්ලාදේශ ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත්වෙනු ඇත.

හෙට තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවහොත් ප්‍රසාද ලකුණු පුවරුවේ සිව්වැනි ස්ථානය දක්වා ඉහළ යෑමට වැඩි ඉඩ කඩක් නිර්මාණ වනු ඇත. දකුණු අප්‍රිකානු කණ්ඩායමටද තත්ත්වය එසේමය. ඔවුන්ට හෙට තරගය අවාසි දායක බවට පත් වුවෙහාත්, ඔවුන්ටද අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබා ගැනීමට තබා තිබෙන බලාපොරොත්තු බොහෝ දුරට දුෂ්කර වන්නට ඉඩ තිබේ. මන්ද යත් ඔවුන්ට ප්‍රබල ඔස්ට්‍රේලියානු පිලට එරෙහි තරගය ඉතිරිව තිබෙන නමුත් එය ජය ගැනීම ඔවුනට පහසු අභියෝගයක් නොවන බැවිනි.

ඒ අනුව බලන කල්හි ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග වලදී එම ප්‍රතිවාදී කණ්ඩායම් වලට එරෙහිව තරග වැදීමට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමට තරග වැදීමට සිදුව ඇති අනෙක් අභියෝගය වන්නේ කාලගුණය සමඟ ඔට්ටුවීමයි. මේ දිනවල කොළඹට ඇද හැළෙන වර්ෂාව මෙම තත්ත්වයට හේතුවී තිබේ.

කාලගුණ වාර්තාවට අනුව හෙට දිනයද වැහිබර කාලගුණික තත්ත්වයක් පෙන්නුම් කර සිටින අතර වටින් විට වර්ෂාවෙන් බාධා අපේක්ෂා කළ හැක.

ඉන්දියාවට සහ එංලන්තයට එරෙහි තරග 2 ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුවද නවසීලන්තයට එරෙහිව ඉකුත් 14 වැනිදා පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිතිකාරිණියන් සාර්ථකත්වයට පැමිණියහ. කාලගුණය මත ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට මුහුණ දී තිබෙන අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරනවාට වඩා වැදගත් වනුයේ හෙට සිට පැවැත්වෙන තරගය ඇතුළු ඉතිරි තරග 3 ම ජය ගනිමින් අවසන් පූර්ව තරග අවස්ථාව විවර කර ගැනීමයි.

දකුණු අප්‍රිකාවට එරෙහිව හෙට පැවැත්වීමට නියමිත තරගය පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා පිලේ මැද පෙළ පිතිකාරිණිය වන නිලක්ෂිකා ද සිල්වා සඳහන් කර සිටියේ, ඉතිරි තරග 3 පිළිබඳව අවධානය යොමු කිරීමට වඩා තමන් ඇතුළු කණ්ඩායමේ අවධානය යොමුව ඇත්තේ හෙට තරගයට ක්‍රීඩා කිරීම පිළිබඳවයි. “මං හිතන්නේ හෙට මැච් එක තමයි තරග 3 ටම වඩා අපි අවධානය යොමු කරලා තියෙන්නේ. නවසීලන්තයට එරෙහිව එදා තරගය ක්‍රීඩා කරපු විදියටම හෙට තරගයටත් ක්‍රීඩා කළොත් මම හිතනවා අපිට හොඳ තරගයක් ක්‍රීඩා කරන්න පුලුවන් කියලා. අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවා. අපිට ආවේණික විදියට ක්‍රීඩා කළොත් මම හිතනවා අපිට හෙට තරගය ජයග්‍රහණය කරන්න පුලුවන් කියලා“ යනුවෙන් නිලක්ෂිකා පවසන්නීය.

ශ්‍රී ලංකාව හෙට තරගය සඳහාද කිසිදු වෙනස් කමක් සිදුනොකරමින් අවතීර්ණ වනු ඇතැයි අපේක්ෂා කළ හැක.

හෙට ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂිත කණ්ඩායම්

ශ්‍රී ලංකාව – චමරි අතපත්තු (නායක), හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවිෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, අනුෂ්කා සංජීවනී (WK), පියුමි වත්සලා, සුගන්දිකා කුමාරි, මල්කි මදාරා, ඉනෝකා රණවීර දකුණු අප්‍රිකාව (බොහෝ විට):  ලෝරා වොල්වාඩ් (නායක),  ටස්මින් බ්‍රිට්ස්,  ඇනෙක් බොෂ්,  ඇනරි ඩර්ක්සන්,  මැරිසන් කැප්,  සිනාලෝ ජැෆ්ටා,  ක්ලෝයි ට්‍රයන්,  නඩින් ඩි ක්ලර්ක්,  මසාබටා ක්ලාස්,  නොන්කුලුලෙකෝ මලාබා,  ටුමි සේඛුනේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar